"ශ්‍රී ලංකා - ඕමාන සබඳතා" (“Sri Lanka – Oman Relations") නමැති කෘතිය එළිදැක්වේ

“ශ්‍රී ලංකා – ඕමාන සබඳතා” (“Sri Lanka – Oman Relations”) නමැති කෘතිය එළිදැක්වේ

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් රචිත “ශ්‍රී ලංකා - ඕමාන සබඳතා; අතීතය, වර්තමානය සහ අනාගතය” (“Sri Lanka – Oman Relations; Past, Present and Future”) නමැති ග්‍රන්ථය  2022 අගෝස්තු 29 වැනි දින ඕමාන සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රික කටයුුතු පිළිබඳ උපලේකම් ෂෙයික් ඛලීෆා අල් හාර්ති මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රික ආයතනයේ දී එළිදක්වන ලදී. ඕමාන සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, මස්කට් හි සිටින තානාපතිවරු, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු, ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයෝ සහ මාධ්‍යවේදීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2021 පෙබරවාරි 17 වැනි  දින පැවැත්වූ  ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් මෙම කෘතිය  නිකුත් කරන ලදී.

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති සියවස් ගණනාවක ඉපැරණි සබඳතා විස්තර කරන අතර, දෙරට අතර ගැඹුරු ආර්ථික බැඳීමක් නිර්මාණය කිරීමේ අරමුණින් දෙරටේ නිල මූලාශ්‍රවලින් ලබාගත් වැදගත් තොරතුරු සපයන අතරතුර, දෙරටේ අනාගත දැක්ම ද පුරෝකථනය කරයි.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ විදේශ අමාත්‍ය සයිද් බද්ර් අල්බුසයිඩි මැතිතුමා මෙම කෘතිය සඳහා පෙරවදනක් රචනා කොට ඇත. එහි මෙසේ සඳහන් වේ: “ශ්‍රී ලංකාවේ සහ ඕමානයේ රාජ්‍යතාන්ත්‍රික ගමන දශක හතරකට අධික අතීතයකට විහිදේ. කෙසේ වුවද, මෙම කෘතියේ සඳහන් කොට ඇති කරුණුවලින් පෙනී යන්නේ අපගේ සබඳතා සියවස් ගණනාවක් නොව සහස්‍ර ගණනාවක අතීතයට දිව යන බවයි. තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා හොකී ක්‍රීඩාවේ පටන් පළතුරු දක්වා ත්, ජාත්‍යන්තර තේ දිනයේ පටන්  ක්‍රිකට් තරඟාවලි දක්වා ත්, ධීවර කර්මාන්තයේ සිට තාක්ෂණය දක්වා ත් දෙරට අතර පවත්නා සහයෝගීතාව පිළිබඳ පුළුල් සමාලෝචනයක් ඉදිරිපත් කරයි. අපගේ රටවල් ද්විත්ත්වය එක්ව ගමන් ගන්නා මෙම ගමනේ සෑම පියවරක්ම අපගේ ජනතාව අතර ගැඹුරු ලෙස මුල්බැසගත් සබඳතා මත පදනම් වී ඇති බව එතුමාගේ කෘතියෙන් විද්‍යමාන වේ. එය ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින සබඳතාවල මූලික පදනම වන අතර එය සැමවිටම එලෙස පවතී”.

මෙම කෘතිය ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට හඳුන්වාදීමේ උත්සවයක් 2022 අගෝස්තු 30 වැනි දින මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා පාසලේ දී (SLSM) පැවැත්විණි. ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සභාපති රාධා ජුමා අල් සාලේ මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීය.

මෙම උත්සවය අතරතුර ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන් ඇමතූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, සිය කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කළේ ය. අනාගතයේ දී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ගැඹුරු ආර්ථික බැඳීමක් නිර්මාණය කිරීම සඳහා 'මාර්ග සිතියමක්' ප්‍රකාශයට පත්කිරීම මෙම කෘතියේ ප්‍රධාන අරමුණ වූ බව සඳහන් කළ එතුමා, එම කර්තව්‍ය සඳහා සක්‍රීයව දායක වන ලෙස ඕමානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ සියලුම සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක සහ ඕමාන් ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ (මාර්ගගත) වශයෙන් කටයුතු කරන ලක්ෂ්මි කොතනෙත් මහත්මිය මෙම නව කෘතිය සමාලෝචනය කළ අතර, ශක්‍යතාව සහිත සහයෝගීතාවයේ විවිධ අංශ යටතේ කෘතියේ V වැනි පරිච්ඡේදය තුළ උපුටා දක්වා ඇති විශේෂඥ අදහස් සහ යෝජනා මෙම කෘතියට වටිනාකමක් එකතු කොට ඇති බව අවධාරණය කළා ය.

මස්කට් හි ශ්‍රී ලංකා පාසලේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන්, එම විදුහලේ වැඩබලන විදුහල්පති, ප්‍රජා සංවිධාන සහ ආයතනවල නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම කෘතිය ඕමානයේ Black & White Media and Services LLC විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 සැප්තැමිබර් 02වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close