ද්විපාක්ෂික එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සාකච්ඡා පවත්වයි

ද්විපාක්ෂික එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සාකච්ඡා පවත්වයි

IMG_4160

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද දින (2020 පෙබරවාරි 17 වැනි දින) ශ්‍රී ලංකාවට පැමිණ සිටින, ආසියාව හා න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු උපකමිටුවේ සභාපති අමි බේරා (එම්.ඩී.) මහතා සහ පාර්ලිමේන්තුවේ විධික්‍රම පිළිබඳ කමිටු, අයවැය කමිටු සහ ආචාරධර්ම පිළිබඳ කමිටු සාමාජික, නියෝජිත ජෝර්ජ් ඊ.බී. හෝල්ඩින් මහතා සහ කොංග්‍රස් කමිටු කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුගෙන් සමන්විත වන එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායම හමුවිය.

එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිතයින් පිළිගත් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩිදියුණු කරන නව සහයෝගිතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවට සුවිශේෂී වන අවධියක මෙම සංචාරය සිදුවූ බව අමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළ අතර, දෙරටේ විශේෂිත අංශවල නියෝජිතයින් සමඟ ඒ ඒ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුකළ සංවාද පැවැත්වීම තුළින්, තොරතුරු සන්නිවේදන තාක්ෂණය, විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතාවය පුළුල් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව කරුණු පැහැදිළි කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ වැදගත් උපායමාර්ගික පාර්ශ්වකරුවෙකු වශයෙන්,  ශ්‍රී ලංකාව සමඟ බහු ආංශික සබඳතාව වර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයේ ඇති බලවත් කැමැත්ත කොංග්‍රසයේ නියෝජිතවරු දෙදෙනා පැහැදිළිවම ප්‍රකාශ කළහ. දෙරට අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කරමින් නියෝජිත බේරා මහතා හා නියෝජිත හෝල්ඩින් මහතා දෙරටේම සෘජු විදේශීය ආයෝජන ඉහළ නැංවීමට එක්සත් ජනපද පාර්ශ්වයේ කැමැත්ත පළ කළහ. ලෝක සිතියමේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම හඳුනාගනිමින්, මෙම දිවයින සමඟ සමුද්‍රීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ.

කොංග්‍රස් නියෝජිත කණ්ඩායම හමුවූ අවස්ථාවේ දී, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නොබෝදා සංචාරක සීමා පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය අවධාරණය කිරීම සඳහා අමාත්‍යවරයා විසින් අවස්ථාව සළසා ගන්නා ලද අතර, එම තීරණය සමාලෝචනය කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය. ආරක්ෂක සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ එතුමා, පාර්ශ්ව දෙකෙන් කුමන හෝ පාර්ශ්වයකට අපහසුතාවයක් ඇති නොවන පරිදි එවැනි බාධක ජය ගැනීමට අවශ්‍ය වන බව පැවසීය.

නියෝජිත පිරිස මෙම කරුණු සැලකිල්ලට ගත් අතර, ඔවුන් මෙම අදහස් හා මත එක්සත් ජනපද කොංග්‍රසයට දැනුම් දෙන බව දන්වා සිටියහ.

කොංග්‍රස් නියෝජිත කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවලට එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මැතිනිය සහ තානාපති කාර්යාල නිලධාරීහු ද එක් වූහ. විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, අමාත්‍යාංශයේ උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීහු ද අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වූහ.

ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ දී, මෙම නියෝජිත කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, කථානායක කරු ජයසූරිය මැතිතුමා සහ විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ද බැහැදුටුවේය.

මෙම නියෝජිත කණ්ඩායම අද දින පිටත්ව යාමට පෙර විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විසින් ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පුද්ගලයෝ සහ ආර්ථික කටයුතු සම්බන්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීහු ද ඊට සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 පෙරවාරි 17 වැනි දින
IMG_4178
IMG_4256
Print Friendly, PDF & Email
Please follow and like us:

Close