ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ සම්මුති රැස්වීමේ සභාපතිත්වයට ශ්‍රී ලංකාව තේරී පත් විය

ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ සම්මුති රැස්වීමේ සභාපතිත්වයට ශ්‍රී ලංකාව තේරී පත් විය

අද දින ජිනීවාහි දී අවසන් කරන ලද ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ සම්මුතිය සඳහා වූ පාර්ශ්ව රාජ්‍ය රැස්වීමේ (MSP) සිව් දින සැසිවාරයේ දී, 2020 දී පැවැත්වීමට නියමිත පාර්ශ්ව රාජ්‍ය රැස්වීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබා දීම ඒකමතිකව අනුමත කරන ලදී.

ජිනීවා හි සිටින, එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ඒ.එල්.ඒ අසීස් මැතිතුමා, 2020 පාර්ශ්ව රාජ්‍යවල රැස්වීමෙහි සභාපති ධුරය භාරගනු ලබන්නේ එම ධූරයෙන් ඉවත්ව යන ප්‍රංශ තානාපති යාන් හ්වාන්ග් මැතිතුමා වෙතිනි.

ලබන වසර වන විට මෙම සම්මුතිය බලාත්මක වී වසර 45 ක් සපිරෙන හෙයින් ද, 2021 නවවැනි සමාලෝචන සමුළුව සඳහා වූ විශේෂඥ රැස්වීම් හා පෙර සූදානම් රැස්වීම් මාලාවක් 2020 වසර මුළුල්ලේම පාර්ශ්ව රාජ්‍ය විසින් කැඳවනු ලබන හෙයින් ද, විශ්වීයකරණය සහ ජාතික වශයෙන් මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරමින් එහි අරමුණු පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව හා සහාය ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ සභාපතිත්වය ඉතා සුවිශේෂී වෙයි.

ජෛව විද්‍යාත්මක අවි සම්මුතිය (BWC) ලෙස ජනප්‍රිය වී ඇති, බැක්ටීරියා විද්‍යාත්මක (ජෛව විද්‍යාත්මක) සහ විෂ අවි අලුතින් සොයාගැනීම, නිෂ්පාදනය කිරීම හා ගබඩා කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශකිරීම පිළිබඳ සම්මුතිය මඟින්, ජෛව විද්‍යාත්මක හා විෂ අවි ඒවායෙහි සම්පූර්ණ චක්‍රය පුරාම තහනම් ‍කෙරෙන අතර, එය සමූල ඝාතක අවි ගුණනය කිරීමට එරෙහිව කටයුතු  කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දරන ප්‍රයත්නවල දී සහ වේගයෙන් භයානක තත්ත්වයක් කරා ගමන් කරමින් පවතින ගෝලීය පරිසරයක් තුළ ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පාර්ශ්ව රාජ්‍ය දරන ප්‍රයත්නවල දී ඉතා වැදගත් අංගයක් වෙයි.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 09 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close