පුද්ගල අවහරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන පුළුල් කලාපීය ප්‍රවේශයකට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යළි අවධාරණය කරයි

පුද්ගල අවහරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන පුළුල් කලාපීය ප්‍රවේශයකට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යළි අවධාරණය කරයි

Photo_1

2018 අගෝස්තු 07 වැනි දින ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති පුද්ගල අවහරණය, මිනිස් ජාවාරම සහ සෙසු ජාත්‍යන්තර අපරාධ පිළිබඳ බාලි ක්‍රියාවලියේ හත්වැනි අමාත්‍ය සමුළුව ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, පුද්ගල අවහරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන පුළුල් කලාපීය ප්‍රවේශයකටත්, පුද්ගල අවහරණය වැලැක්වීම, එහි වින්දිතයන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට සහය සැපයීම මෙන්ම අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා රජයන්, ජාත්‍යන්තර සංවිධාන හා සිවිල් සමාජය සමඟ හවුලේ කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යළි අවධාරණය කළේය.

අමාත්‍ය මට්ටමෙන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව සමුළුව විසින් අමාත්‍ය ප්‍රකාශනයක්ද ජ්‍යෙෂ්ඨ නිලධාරී රැස්වීමේ සභාපතිවරයාගේ ප්‍රකාශයක්ද සම්මත කරගනු ලැබිණි.

ජාත්‍යන්තර සාකච්ඡාවල සහ ප්‍රතිමාන සකස් කිරීමේ ආධාරක වශයෙන් එක්සත් ජාතීන්ගේ ක්‍රමයෙහි සහ සෙසු බහුපාර්ශ්වික සංවිධානවල ඇති වැදගත්කම හඳුනාගත් අමාත්‍යවරයා, බාලි ක්‍රියාවලියටත් සංක්‍රමණිකයන් අවහරණය කිරීමට, පුද්ගල ජාවාරමට සහ දේශසීමා ඉක්මවා යන අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ නෛතික බැඳීම් ක්‍රියාත්මක කිරීමටත් සහය පළකර සිටියේය. පුද්ගල ජාවාරම වැලැක්වීමට සහ මර්දනය කිරීමට ප්‍රතිපාදන සපයන  ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිවල පාර්ශ්වකරුවකු වීම ඇතුළුව ශ්‍රී ලංකාව විසින් මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර අමාත්‍යවරයා පැහැදිලි කළේය. දේශසීමා ඉක්මවූ සංවිධිත අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ එහි 2015 මූලලේඛයත් ළමුන් ආරක්ෂාකිරීම සහ අන්තර්-රාජ්‍ය දාරක ග්‍රහණය පිළිබඳ සහයෝගීතාව සම්බන්ධ හේග් සම්මුතියත්අපරානුමත කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කැරිණි. ශ්‍රී ලංකාවේ ජාතිකමිනිස් ජාවාරම් විරෝධී කාර්ය බලකාය යටතේ පවතින නිරීක්ෂණ යාන්ත්‍රණ පිළිබඳවත්, වැලැක්වීම, ආරක්ෂා කිරීම, අභිචෝදනය හා හවුල්කාරීත්වය යන සිවුවැදෑරුම් ස්ථම්භ මත පදනම් වූ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද, පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම (2015-2019) පිළිබඳවත් ඔහු සඳහන් කළේය.

අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරථී දුෂ්මන්ත මහතාද විදේශ කටයුතු අමාත්‍ය මාරපන මහතා සමඟ මෙම සමුළුවට සහභාගී වූ අතර ව්‍යාපාරික නායකයන් සමඟ පැවැති අමාත්‍ය සැසියේදී ශ්‍රී ලංකාව කළ ප්‍රකාශවලට නායකත්වය සැපයීය.

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි මහත්මිය සමඟද ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු, ආගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය පීටර් ඩටන්, ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තානාපති විලියම් ලේසි ස්වින්ග් යන මහත්වරුන් සමඟද අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

සමුළුව අමතා කළ සිය කථාවේදීද, ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුදි මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවලදීද ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින අසල සිදු වූ ව්‍යසනකාරී භූමිකම්පාවෙන් විපතට පත් සියලු දෙනා වෙනුවෙන් අමාත්‍ය මාරපන මහතා ශ්‍රී ලංකාවේ ශෝකය ප්‍රකාශ කළේය.

අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරථී දුෂ්මන්තසහ ඉන්දුනීසියාවේ හා ආසියාන් සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා යන මහත්වරුද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ හා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහූද විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ මෙම සමුළුවට සහ ඊට සම්බන්ධ රැස්වීම්වලට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 අගෝස්තු 08 වැනිදා

 

Photo_2

 

Photo_5

Photo_6
Print Friendly, PDF & Email
Please follow and like us:

Close