විදේශ ලේකම් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකාව, ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් කඩිනමින් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියි

විදේශ ලේකම් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකාව, ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් කඩිනමින් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියි

Pic1

ආසියානු සංවිධානය සහ එහි සාමාජික රටවල් සමඟ සිදු කරනු ලබන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් ඇතුළත් කර ගැනීමට කඩිනම් තීරණයක් ගන්නා ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2019 අගෝස්තු 08 වැනි බ්‍රහස්පතින්දා ඉල්ලා සිටියේ ය.

විදේශ ලේකම්වරයා මෙසේ ඉල්ලා සිටියේ කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති ආසියාන් දින සැමරුම් උත්සවය අමතමිනි. එහිදී එතුමා මෙම සුභ කටයුතු අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සුභාශිංසන ද පිරිනැමීය. ඉන්දුනීසියානු තානාපති ගුස්ටි න්ගුරා ආර්දියාස මැතිතුමාගේ සත්කාරකත්වයෙන් පවත්වන ලද මෙම උත්සව අවස්ථාවට මැලේසියාව, මියන්මාරය, වියට්නාමය, තායිලන්තය යන රටවල තානාපතිවරු/මහකොමසාරිස්වරු මෙන්ම, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයෝ, රාජ්‍ය නිලධාරීහු, ව්‍යාපාරික ප්‍රජාව සහ සුභ පතන්නෝ ද සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා තායිලන්තයේ පැවති ආසියානු කලාපීය සංසඳයට (ARF) සහභාගී වී නොබෝදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීම සහ අප ජනාධිපතිවරයා දැන් කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයක නියැලී සිටීම මගින් ආසියාන් කලාපය සමග ශ්‍රී ලංකාව පවත්වනු ලබන සබඳතා කෙරෙහි ලබා දී ඇති සුවිශේෂි වැදගත්කමට සාක්ෂි දරන බව ඔහු මෙහි දී පෙන්වා දුන්නේ ය.

පුරාණ කාලයේ සිටම බුද්ධාගම, සමුද්‍රීය කටයුතු, ආර්ථික කටයුතු, පුද්ගලාන්තර සබඳතා ඇතුළු විවිධ ආකාර තුළින් ආසියාන් රටවල් හා ශ්‍රී ලංකාව අතර පවත්නා ඓතිහාසික අවස්ථා සහ වැඩකටයුතු පිළිබඳව සලකා බලන කල, ආසියාන් කලාපය සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ශ්‍රී ලංකාව දක්වන දැඩි උනන්දුව නිදහස ලැබීමට පෙර පවා පෙන්නුම් කර තිබෙන බව විදේශ ලේකම් ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය. කලාපීය යාන්ත්‍රණය තුළින් මෙම කලාපයේ තෝරාගත් රටවල් ඒකරාශී කිරීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය, 1947 වසරේ නවදිල්ලි නුවර පැවති ආසියානු සබඳතා සමුළුවේදී ආසියානු සබඳතා සංවිධානයක් ස්ථාපනය කිරීම සඳහා වූ යෝජනාවලිය ඒකාබද්ධව පිළිගැනීම මඟින් ප්‍රථමවරට පැහැදිලිව පෙන්නුම් කරන ලදී. ඉන් අනතුරුව 1954 වසරේ දී පැවති කොළඹ මහබලවතුන්ගේ සමුළුව, 1961 වසරේ දී එවකට විපක්ෂයේ සාමාජිකයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික මන්ත්‍රී කෙටුම්ත, 1967 දී ආසියාන් සංවිධානය පිහිටුවන ලද අවස්ථාවේ දී සහ ඉන් අනතුරුව අවස්ථා කිහිපයක දී පෙන්වන ලද ක්‍රියාකාරී උනන්දුව තුළින් ශ්‍රී ලංකාව එහි දැක්ම පැහැදිලිව පෙන්වා දී තිබුණි.

ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව, “ඔබ කලාපය සහ ඔබ ජනතාව සමඟ පවත්වා ගෙන ගොස් ඇති ඓතිහාසික හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීම“ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සපයනු ලබන බවත් ආසියාන් සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව සහ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ  අයදුම් කිරීමට යහපත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට අදාළ ආසියාන් රටවල් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් විදේශ ලේකම්වරයා පැවසීය.

ආසියාන් සංවිධානයේ වර්තමාන සභාපති තායිලන්ත තානාපති චූලාමනී චාට්සුවාන් මැතිනිය මෙම අවස්ථාව අමතමින් ආසියාන් සංවිධානයේ දැක්ම හුවා දැක්වූ අතර, 2020 වන විට ලෝකයේ සිව් වැනි විශාලතම ආර්ථික කලාපය බවට පත් කිරීම සඳහා සමහරුන් විසින් සැලසුම් කරනු ලැබ ඇති මෙම සංවිධානය, රීති පදනම් කර ගත්, ජනතාව කේන්ද්‍ර කොටගත් සංවිධානයක් වශයෙන් හසුරුවනු ලබන ප්‍රධාන සාධක මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව ආසියානු කලාපීය සංසදයට 2007 වසරේ දී එක් වූ අතර, ඊට ප්‍රථමයෙන් එම වසරේ දීම ආසියාන් සංවිධානයේ සාමග්‍රීය ගිවිසුමට එක්විය. 2016 ජුලි මස දී ජකර්තා හි සිටි තානාපතිවරයා ආසියාන් සංවිධානය සඳහා පළමුවෙන් ම අක්ත ගන්වන ලදී.

විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඔ
2019 අගෝස්තු 08 වැනි දා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close