තානාපති විශ්වනාත් අපොන්සු ටෙහෙරානයේ IRANPHARMA EXPO 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ

තානාපති විශ්වනාත් අපොන්සු ටෙහෙරානයේ IRANPHARMA EXPO 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වේ

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරාධනයකට අනුව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපෝන්සු 2023 සැප්තැම්බර් 27-29 දක්වා ටෙහෙරානයේ Imam Khomeini Grand Campus (Mosala) හි පැවති "IRANPHARMA EXPO 2023" නම් වූ ඖෂධ සහ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ 08 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී විය. ඉරාන සමාගම් 427 කට වැඩි ප්‍රමාණයක් සහ රටවල් 33 කින් විදේශීය ප්‍රදර්ශකයෝ 282 ක් ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ දී සිය නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කළහ.

IRANPHARMA EXPO යනු ඖෂධ, ඖෂධ උපකරණ සහ යන්ත්‍රෝපකරණ, ප්‍රතිසංයෝජක ඖෂධ, ශාකසාර ඖෂධ, ආහාර සහ ආහාර අතිරේක, දැනුම පදනම් කරගත් සමාගම්, ඖෂධ බෙදාහරින්නන්, විද්‍යාත්මක සහ ඖෂධ පර්යේෂණ පහසුකම්, සංගම් සහ ඖෂධ සම්බන්ධ ප්‍රකාශන යන සෞඛ්‍ය නිෂ්පාදකයින් සඳහා සත්කාරකත්වය සපයන කර්මාන්තවල වාර්ෂික උත්සවයකි.   ප්‍රදර්ශනය ඉරානයේ සහ බටහිර ආසියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ ආශ්‍රිත සමාගම් සමඟ පවත්වන ප්‍රධාන ව්‍යාපාරික රැස්වීමක් වන අතර එය ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා නව වේදිකාවක් නිර්මාණය කිරීමට පහසුකම් සපයයි.

ඉහත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේ දී තානාපති අපෝන්සු මහතා ඉරානයේ සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය බහ්‍රම් ඉනොල්ලාහි මහතා හමුවී IRANPHARMA EXPO 2023 සාර්ථක ලෙස සංවිධානය කිරීම පිළිබඳව ඔහුට සුබපැතුම් එක් කළේය. සෞඛ්‍ය, වෛද්‍ය අධ්‍යාපනය සහ ඖෂධ කර්මාන්තය යන ක්ෂේත්‍රවල ඉරානය සමඟ ඵලදායී දිගුකාලීන සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උනන්දුව පිළිබඳවද ඔහු ප්‍රකාශ කළේය. තානාපතිවරයාගේ යෝජනාව පිළිගනිමින් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සහ ඉරානයේ අදාළ බලධාරීන් අතර යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

ඉරාන ඖෂධ අපනයන සංගමයේ ප්‍රධානී වෛද්‍ය සයීඩ් අලි මබූඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රදර්ශනයේ ව්‍යාපාරික සාකච්ඡාවට ද ශ්‍රී ලංකා නියෝජිතවරයා සහභාගි වූ අතර වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ ඖෂධ ක්ෂේත්‍රයේ ආයෝජන ඇතුළු ශ්‍රී ලංකා වෙළෙඳපොළේ පවතින අවස්ථා පිළිබඳව දැනුවත් කළේය. ඖෂධ සමාගම්වල ව්‍යාපාරික නියෝජිතයන් ඔවුන්ගේ සමාගම් පිළිබඳව කළ අතර ශ්‍රී ලංකාවේ සම අරමුණු දරන පාර්ශවයන් සමඟ මූලික මට්ටමේ රැස්වීම් පැවැත්වීමට කැමැත්ත පළ කළහ.

ශ්‍රී ලංකාවේ වත්මන් වර්ධනයන් ඉස්මතු කරමින්, ඖෂධ ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන හුවමාරුව වැඩිදියුණු කිරීම සහ ඒකාබද්ධ සහයෝගීතාව ගවේෂණය කිරීමේ අරමුණින් ඒ සඳහා අවස්ථාවක්  නිර්මාණය කිරීමට තානාපතිවරයා සහතික විය. ඉරානයේ නිෂ්පාදිත ඖෂධ දැනට ලොව පුරා රටවල් 40කට අපනයනය කෙරේ.

ප්‍රදර්ශනය සඳහා තානාපතිවරයාගේ සහභාගීත්වය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ආචාර්ය සයීඩ් අලි මබූඩි ශ්‍රී ලංකාව සහ ඉරානය අතර විශේෂයෙන් ඖෂධ කර්මාන්තයේ දෙරටේ ප්‍රයෝජනය සඳහා නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට සහය පළ කළේය. ඉන්දියාව, පිලිපීනය, නිකරගුවාව, බොලිවියාව සහ සිම්බාබ්වේ ඇතුළු ටෙහෙරානය පදනම් කරගත් තානාපතිවරු සහ නියෝජිතයෝ කිහිප දෙනෙකු IRANPHARMA EXPO 2023 සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2023 ඔක්තෝබර් 02

Print Friendly, PDF & Email
Please follow and like us:

Close