ශ්‍රී ලංකා තානාපතිනිය තුර්කියේ හටගත් භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශවලට ආධාර සැපයීම සඳහා ස්ථාපිත අදානා හි සැපයුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා තානාපතිනිය තුර්කියේ හටගත් භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශවලට ආධාර සැපයීම සඳහා ස්ථාපිත අදානා හි සැපයුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වේ

ශ්‍රී ලංකා රජය තුර්කිය වෙත පිරිනැමූ ප්‍රථම පරිත්‍යාගය භාරගැනීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය 2023 පෙබරවාරි 16 වැනි දින අදානා වෙත පැමිණියා ය. තුර්කි ගුවන් සේවය හරහා ඉස්තාන්බුල් වෙත ප්‍රවාහනය කර, පසුව අදානා වෙත ගෙන එන ලද මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සකසන ලද ලංකා තේ කිලෝග්‍රෑම් 1500 කින් සමන්විත විය. භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශයක් වන අදානා, ලොව විවිධ රටවලින් තුර්කිය කරා ළඟා වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.

කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය වෙත පිළිගන්වන ලද මෙම පරිත්‍යාගය, අදානා වෙත ළඟා වූ විට තානාපති දිසානායක මැතිනිය සහ මධ්‍යධරණී කලාපයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් බෙසිර් උගුර් මහතා විසින් භාරගන්නා ලදී. අන්කාරා හි විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජිත ඔස්කාන් ඩුර්මාස් මහතා සහ අදානා හි ආපදා හා හදිසි අවස්ථා කළමනාකරණ අධිකාරියේ (AFAD) නියෝජිත වෙහ්බි කප්ලන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

අදානා මහ නගර සභාවේ නගරාධිපති සෙයිඩාන් කරාලර් මැතිතුමා හමු වූ තානාපතිනිය, 2023 පෙබරවාරි 6 වැනි දින තුර්කියේ හටගත් භූ  කම්පන මාලාව හේතුවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි, තුවාල සහ විනාශයන් පිළිබඳව සිය හෘදයංගම ශෝකය ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් පළ කළා ය.

විපතට පත් ජනතාව අතර බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා රජය පිරිනැමූ පළමු පරිත්‍යාගය භාරගැනීම සඳහා අදානා වෙත පැමිණි තානාපතිනියට අදානා හි නගරාධිපතිවරයා සිය ස්තූතිය පුද කළේ ය.  තවද, තම සමාගම වන බෙටා ටී (BETA Tea) වෙතින් කිලෝග්‍රෑම් 80,000කට අධික තේ තොගයක්  පරිත්‍යාග කළ මධ්‍යධරණී කලාපයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් බෙසිර් උගුර් මහතාගේ දායකත්වය නගරාධිපතිවරයාගේ පැසුසමට ලක්විය.

බෙටා ටී  සමාගම බෙසිර් උගුර් මහතා විසින් 1985 වසරේ දී තුර්කියේ දී ආරම්භ කරන ලදී. එතුමා 1987 වසරේ දී බෙටා ටී සමාගමේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ද විවෘත කළේ ය. ශ්‍රී ලංකාවට ප්‍රවේශ වූ පුරෝගාමී තුර්කි ව්‍යාපාරයක් වන බෙටා ටී සමාගම, තුර්කිය ඇතුළුව තේ අපනයනය කරනු ලබන මධ්‍යම ආසියාවේ සහ රුසියාවේ තවත් රටවල් කිහිපයක් තුළ ලංකා තේ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම තේ සමාගමකි. තවද, තානාපති දිසානායක මැතිනිය අදානා නගරයට නුදුරින් පිහිටි තේ ඇසුරුම් කම්හල තුළ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 පෙබරවාරි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close