ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා තානාපති කොළඹගේ මහතා APINDO සභාපතිනිය හමුවෙයි

 ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා තානාපති කොළඹගේ මහතා APINDO සභාපතිනිය හමුවෙයි

ඉන්දුනීසියාවේ සහ ආසියාන් සංවිධානයෙහි ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ඉන්දුනීසියානු සේවා යෝජකයින්ගේ සංගමයේ (APINDO) සභාපතිනී ෂින්ටා.ඩබ්.කම්දානි මහත්මිය අතර ඵලදායී හමුවක් 2023 අගෝස්තු 18 වන දින APINDO මූලස්ථානයේදී පැවැත්විණ.

සාකච්ඡාවේදී, තානාපති කොළඹගේ මහතා ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය; විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය ආශ්‍රිත ආයෝජන සඳහා ඇති අවස්ථා, ඖෂධ ක්ෂේත්‍රය, සහ රෙදි නිෂ්පාදන ක්ෂේත්‍රවල; ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා සමාගම් විසින් කරන ලද ආයෝජන; ශ්‍රී ලංකා ආයතනවලින් ප්‍රසම්පාදන දැන්වීම් සඳහා සහභාගී වීමට ඉන්දුනීසියානු සමාගම් දිරිමත් කරන ලෙස ඉල්ලා සිටීම; ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා උත්සාහයන්; APINDO සාමාජිකයින්ට "Boat & Marine Show 2023" සහ "FACETS Sri Lanka International මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය" සඳහා ආරාධනා කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් ඉස්මතු කළේය.

මීට අමතරව, ඉන්දුනීසියාවේ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා සඳහා ඇති හැකියාව හා වරණීය වෙළඳ ගිවිසුමේ (PTA) තත්ත්වය, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමට සහ ආසියාන් සංවිධානයෙහි ආංශික සංවාද හවුල්කරුවෙකු (SDP) බවට පත්වීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳ කරුණු එම සාකච්ඡාවන් හි දී අවධානයට යොමු විය.

ඊට ප්‍රතිචාර වශයෙන්, ෂින්ටා.ඩබ්.කම්දානි මහත්මිය ඉන්දුනීසියානු රජයේ අභ්‍යන්තර ආයෝජන දිරිමත් කිරීම අවධාරණය කළ අතර දෙරටෙහිම සමාගම් නියෝජිතයන් අතර ව්‍යාපාර ගැලපුම් සැසිවාර වර්ධනය කිරීමෙහි ලා APINDO හි කැපවීම පිළිබඳව ද ප්‍රකාශ කළාය. තවද, නිල් ආර්ථිකය කෙරෙහි, විශේෂයෙන් ජලජ-ව්‍යුත්පන්න ආහාර ප්‍රභවයන් ගවේෂණය කිරීමට APINDO හි දැඩි උනන්දුව අවධාරණය කරන ලදී.

අන්‍යෝන්‍ය සමෘද්ධිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සවිමත් කැපවීමකින් මෙම හමුව අවසන් විය.

මෙම රැස්වීමට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සභාපති කැතරිනා විඩ්ජජා මහත්මිය, APINDO හි උප ලේකම් හෙන්ද්‍ර විඩ්ජජා මහතා සහ ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් -  හේෂානි ප්‍රේමතිලක මහත්මිය, ​‍​දෙවන ලේකම් (වාණිජ), සහ නුරුල් අසීසා මෙය, මහජන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි ඇතුළු සම්භාවනීය පිරිස් සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2023 අගෝස්තු 21

Print Friendly, PDF & Email
Please follow and like us:

Close