තානාපති ආසිර්වතම් මැතිනිය ලක්සම්බර්ග්හි දී යුරෝපා ආයෝජන බැංකුවේ උපසභාපතිවරයා හමුවෙයි

තානාපති ආසිර්වතම් මැතිනිය ලක්සම්බර්ග්හි දී යුරෝපා ආයෝජන බැංකුවේ උපසභාපතිවරයා හමුවෙයි

බෙල්ජියමේ සහ ලක්සම්බර්ග් හි ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ග්‍රේස් ආසිර්වතම් මැතිනිය 2023 පෙබරවාරි 20 වැනි දින ලක්සම්බර්ග්හි දී යුරෝපා ආයෝජන බැංකුවේ (EIB) උපසභාපති ක්‍රිස් පීටර්ස් මහතා හමු වූවා ය. යුරෝපා ආයෝජන බැංකුවේ ගෝලීය හවුල්කරුවන්ගේ දෙපාර්තමේන්තුවේ ආසියා පැසිෆික් අංශයේ මහජන මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ ණය දෙන නිලධාරී ෆ්‍රැන්චෙස්කෝ කොන්සිග්ලියෝ මහතා සහ උපසභාපතිවරයාගේ කාර්යාලයේ ප්‍රධානී අනුක් හැමර්ස් මහතා ද මෙම හමුව සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සිදු කරන කටයුතු පිළිබඳව තානාපති ආසිර්වතම් මැතිනිය යුරෝපා ආයෝජන බැංකුවේ උපසභාපතිවරයා හමුවේ විස්තර කළා ය. අපනයන කටයුතු ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී හරිත හා නීල ආර්ථිකයක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සතු දැක්ම පිළිබඳව ද තානාපති ආසිර්වතම් මැතිනිය උපසභාපතිවරයා හමුවේ වැඩිදුරටත් කරුණු පළ කළා ය. ඊට ප්‍රතිචාර දැක්වූ උපසභාපති පීටර්ස් මහතා, යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ ප්‍රගතිය සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා පිරිමනමන විස්තීරණ මූල්‍ය පහසුකම (EFF) පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කළේ ය.

යුරෝපා ආයෝජන බැංකුව ලොව පුරා හරිත ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සඳහා සහය දක්වන බව සැලකිල්ලට ගත් තානාපතිනිය, 2050 වන විට මෙරට තුළ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු අභිලාෂකාමී සැලසුම් සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දේශගුණික සෞභාග්‍ය ​​සැලැස්ම පිළිබඳ මූලික වාර්තාවේ යෝජනා කරන ලද විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පළ කළා ය. ගෝලීය උණුසුම සීමා කිරීම සම්බන්ධයෙන් වන පැරිස් සම්මුතියේ ඉලක්කවලට සහය වීමට අදාළව ශ්‍රී ලංකාව සතු කැපවීම, 2030 වන විට කාබන් විමෝචනය අඩු කිරීම සහ ශ්‍රී ලංකාව අවම කාබන් මට්ටමක් පවතින කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙන්ම 2030 වන විට විදුලිබල නිෂ්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය බවට පත් කිරීමේ සැලසුම සාක්ෂාත් කරගැනීම යනාදිය එම සැලසුම්වලට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට යුරෝපා ආයෝජන බැංකුව ලබා දෙන යූරෝ මිලියන 50 අඛණ්ඩව ලබා දෙන බවද උපසභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම බලාත්මක වූ පසු, යුරෝපා ආයෝජන බැංකුවට යුරෝපා කොමිසමේ උපදේශන සහ සහයෝගිතාව යටතේ මෙරට තුළ නව්‍ය හරිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමට හැකි වනු ඇතැයි ද එතුමා සඳහන් කළේ ය.

මීට පෙර බෙල්ජියමේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් පීටර්ස් මහතා, යුරෝපා ආයෝජන බැංකුවේ උපසභාපති ධුරයට පත්වීමට පෙර යුරෝපා සංගමයේ දේශපාලන කටයුතු සමඟ එක්විය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2023 පෙබරවාරි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close