තානාපති ආර්යසිංහ මැතිතුමා වොෂිංටන් ඩීසී හි දී රාජකාරි ආරම්භ කරයි

තානාපති ආර්යසිංහ මැතිතුමා වොෂිංටන් ඩීසී හි දී රාජකාරි ආරම්භ කරයි

එක්සත් ජනපදය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති රවිනාථ පී. ආර්යසිංහ මැතිතුමාගේ අක්ත පත්‍රයෙහි පිටපත 2020 දෙසැම්බර් 04 වැනි සිකුරාදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා ලදී. කොවිඩ් පිළිබඳ ක්‍රියා පිළිවෙතට අනුකූලව විධිමත් උත්සවය නොපවත්වන ලද අතර, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් අක්ත පත් පිළිගැන්වීම සිදු කෙරෙන තෙක් එතුමා පත් කරන ලද තානාපති සහ දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

තානාපති ආර්යසිංහ මැතිතුමා දෙසැම්බර් 01 වැනි දින ඇමරිකාවට සම්ප්‍රාප්ත වූ අතර, වොෂිංටන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ කාර්යය මණ්ඩලය විසින් නිරීක්ෂණය කරන ලද පරිදි, එතුමා නිරෝධායනය යටතේ සිටින ශ්‍රී ලංකා තානාපති නිල නිවාසයේ සිට වීඩියෝ සබැඳිය හරහා රාජකාරි භාරගත් අතර, එතුමා දිගටම රාජකාරි කටයුතුවල නිරත වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන එතුමා, මෑතක් වන තෙක්ම දේශපාලන පරිපාලන 3ක් යටතේ ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරයා වශයෙන් වසර 2කට ආසන්න කාලයක් සේවය කළේය. මීට පෙර එතුමා බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපා සංගමයේ (2008-2012) ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙසත්, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙසත්, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙසත් (2012-2018) සේවය කළ අතර, ශුද්ධ වූ දේශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද සමගාමීව අක්ත ගන්වනු ලැබීය. එතුමා 2002-2006 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කර ඇති අතර, එහි අවසාන කාල සීමාවේ දී තානාපති නිලය සහිතව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස ද සේවය කළේය. එතුමා 1989-1991 දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ලෙස ද සේවය කර තිබේ.

1982 දී ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනිය පිහිටුවීමෙහි ලා පුරෝගාමියෙකු වූ එතුමා, 1988 දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳෙන තෙක් දේශපාලන වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළේය.  1995-2000 සහ 2007-2008 කාලසීමාවල දී එතුමා විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ද,  2018  අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික හා වෙළඳ කටයුතු සම්බන්ධ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කළේය.

තානාපති ආර්යසිංහ මැතිතුමා සිය ද්විතීයික අධ්‍යාපනය ආනන්ද විද්‍යාලයෙන් ලබා ගත්තේය. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලනය හා ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. එතුමා 2001-2002 දී වොෂිංටන් ඩීසී හි ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සේවා පාසලේ (SIS) ‘ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හර්ස්ට් සාමාජිකයෙක් (Hurst fellow)’ විය.

ඊට පෙර විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස එතුමාට ‘ඇමරිකන් ෆීල්ඩ් සර්විස් (AFS) ශිෂ්‍යත්වයක්’ පිරිනමන ලද අතර 1978-79 අධ්‍යයන වර්ෂය එක්සත් ජනපදයේ ගත කළේය. මාධ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් 1985 දී ජේසීස් කනිෂ්ඨ වාණිජ මණ්ඩලය මඟින් එතුමාට ‘ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන තරුණ පුද්ගලයින් දස දෙනා’ සම්මානය පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂිංටන් ඩීසී

2020 දෙසැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close