ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි සියලුම බෞද්ධ වන්දනාකරුවන් ගෙන්වා ගනු ලබයි

ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි සියලුම බෞද්ධ වන්දනාකරුවන් ගෙන්වා ගනු ලබයි

ඉන්දියාව එරටට ඇතුළු වන වාණිජ මගී ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපලවල් වසා දැමීමට පෙර, අද දින (22) පැය 05:10 ට නවදිල්ලියෙන් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂිත ගුවන් යානය මඟින් බෞද්ධ වන්දනාකරුවන් 48 දෙනෙකු ආපසු පැමිණීමත් සමඟ, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව සිටි සියලුම ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් මේ වන විට පැමිණ ඇත.

මෙදිනම, ඊට පෙර පැය 03:00 ට චෙන්නායි සිට පිටත් වූ තවත් විශේෂිත ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් බෞද්ධ වන්දනාකරුවන් 97 දෙනෙකු කොළඹට රැගෙන එන ලද අතර, මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකාවට ආපසු පැමිණි මුළු වන්දනාකරුවන් සංඛ්‍යාව 145 දෙනෙකි.

මාර්තු 21 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 196 දරන ගුවන් යානයෙන් සම්පූර්ණ වශයෙන් වන්දනාකරුවන් 298 දෙනෙකු නවදිල්ලියෙන් පිටත්ව ආ අතර, එම ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වූයේ පැය 19:31 ටය.

මෙරටට පැමිණෙන වාණිජ මගී ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලවල් තාවකාලිකව වසා දමන බව ශ්‍රී ලංකා රජය නිවේදනය කරන අවස්ථාව වන විට, ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1500 දෙනෙකු පමණ ඉන්දියාවේ රැඳී සිටියහ. එතැන් සිට මේ සියලු වන්දනාකරුවන් කල් තබා ඉන්දියාවෙන් පිටත්ව ගියේ, නියමිත වාණිජ ගුවන් ගමන් මඟින් සහ පසුව අතරමං වූ වන්දනාකරුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා යොදවන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂිත ගුවන් යානා මගින් ය.

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයවී   නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින්, මෙම වන්දනාකරුවන්ගේ ආපසු පැමිණීමට පහසුකම් සැලසීම සඳහා මාර්තු 21 සහ 22 දිනවල දී නවදිල්ලියේ හා චෙන්නායි ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්යාල සමඟ මෙන්ම මෙම සංචාරක කණ්ඩායම් සමඟ ද සමීපව කටයුතු කරන ලදී. ටිකට්පත් නැවත සකස් කිරීම මෙන්ම දිල්ලියේ සහ චෙන්නායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපලවල දී ලබා දෙන ලද සහය ද මෙම ප්‍රයත්නවලට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි මෙම වන්දනාකරුවන් සාර්ථකව ආපසු  මෙරටට රැගෙන ඒම සඳහා සහාය වීම වෙනුවෙන්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ගුවන්තොටුපල බලධාරීන් ඇතුළු ඉන්දීය රජයේ අදාළ ආයතනවලට, නවදිල්ලියේ සහ චෙන්නායි හි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යාලවලට, ඉන්දියාවේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානවල හා බෞද්ධ සිද්ධස්ථානවල මෙන්ම නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාවේ වෙසෙන පූජනීය භික්ෂූන් වහන්සේලාට ද, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය ඉමහත් කෘතඥතාවය පළ කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
නව දිල්ලිය
22 මාර්තු 2020 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close