හෙල්සින්කි හි පැවැති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටයේදී ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය දේශපාලන උපදේශන යාන්ත්‍රණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

හෙල්සින්කි හි පැවැති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටයේදී ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය දේශපාලන උපදේශන යාන්ත්‍රණය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

 

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දිගුකාලීන හා සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් හා 1954 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ඇති කරගත් ද්විපාර්ශ්වික සබඳතා සහ කල් පවතින මිත්‍රත්වය පිළිබිඹු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය 2026 පෙබරවාරි 25 වැනි දින හෙල්සින්කි හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකා - ෆින්ලන්ත සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයකක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මෙම උපදේශන සාකච්ඡාවලදී සිදු විය. මෙම අවබෝධතා ගිවිසුම මගින් දේශපාලන සංවාද සහ සහයෝගීතාව සඳහා ව්‍යුහගත සහ විධිමත් ක්‍රියා පිළිවෙළක් ආයතනගත කරන අතර, ද්විපාර්ශ්වික කටයුතුවල අඛණ්ඩතාව සහ උපායමාර්ගික දිශානතිය සහතික කෙරේ.

ද්විපාර්ශ්වික සහයෝගීතාවේ සම්පූර්ණ පරාසය සමාලෝචනය කිරීමටත්, 2018 වසරේ පැවැති සමාරම්භක වටයේ සිට ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමටත්, සහයෝගීතාව සඳහා නව සහ නැගී එන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහාත් මෙම උපදේශන පුළුල් වේදිකාවක් සපයන ලදී. මෙම සාකච්ඡාවලට වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, සංවර්ධන සහයෝගීතාව සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතුළත් විය. ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන ප්‍රවාහ තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව නියෝජිතයින් පිළිගත් අතර ව්‍යාපාර අතර හවුල්කාරිත්ව සහ නවෝත්පාදන මත පදනම් වූ සහයෝගීතාවය දිරිගැන්වීමේ වැදගත්කමද අවධාරණය කළහ. අන්‍යෝන්‍ය උනන්දුවක් සහ ජාත්‍යන්තර සහයෝගීතාවේ කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. බහුපාර්ශ්විකත්වයට සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති මූලධර්ම සහ අරමුණු ආරක්ෂා කිරීමට ඔවුන්ගේ දැඩි කැපවීම නියෝජිතයෝ දෙදෙනාම නැවත තහවුරු කළහ.

වෘත්තීය සංචලනය සඳහා පහසුකම් සැලසීම සහ සමුද්‍රීය අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම, නැගී එන ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සමඟ සමපාත වන කුසලතා සංවර්ධන මුලපිරීම් සහ කාලගුණ විද්‍යාත්මක දත්ත බෙදාගැනීම සහ ශක්‍යතා වර්ධනය ඇතුළුව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET) සඳහා සහයෝගීතාව, නාවික පුහුණු සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් හඳුනා ගැනීම වැනි ප්‍රමුඛතා අංශ කිහිපයක සහයෝගීතාවේ නව මාර්ග දෙපාර්ශ්වයම විසින් ගවේෂණය කරන ලදී.

දෙරටේම සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ෆින්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවගේ වැදගත් දායකත්වය හඳුනා ගනිමින්, ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. අධ්‍යාපනය, රැකියා සහ පවුල් නැවත එක්වීම සඳහා වීසා ලබා ගැනීමේදී ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මුහුණ දෙන අභියෝග ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ඉස්මතු කරන ලදී. ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා වීසා නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා කොළඹ වීසා මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වීසා ලේඛන සත්‍යාපනය තවදුරටත් විධිමත් කිරීම සලකා බලන ලෙස ශ්‍රී ලංකාව ෆින්ලන්ත පාර්ශවයෙන් ඉල්ලා සිටියේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ හුවමාරු, වෘත්තීය සහභාගීත්වය සහ ජනතාව අතර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා සංක්‍රමණ ව්‍යුහයන් වැඩි දියුණු කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම ඵලදායී අදහස් හුවමාරු කර ගත්හ.

සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය (GSP Plus) සම්බන්ධ කරුණු ඇතුළුව යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවද මෙම උපදේශනවලට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, ප්‍රකෘතිමත් වීම සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ ප්‍රයත්න සඳහා සහය වීමට ෆින්ලන්තය සහ යුරෝපා සංගමය විසින් ලබා දෙන අඛණ්ඩ සහය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශවය අවංක කෘතඥතාව පළ කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිසි ප්‍රතිචාර අරමුදල (UN CERF) හරහා ෆින්ලන්ත රජය දැක්වූ සහයෝගයට ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා විසින් දරන ලදී. ෆින්ලන්තයට ප්‍රතීතනය කරන ලද ස්ටොක්හෝම් හි ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා සහ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සචිනි ඩයස් ‍යන මහත්ම මහත්මීහු මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූහ.ෆින්ලන්ත දූත පිරිසේ ප්‍රධානත්වය ෆින්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු සහ ඕෂනියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජාරි සින්කාරි විසින් දරන ලද අතර, ෆින්ලන්ත විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙයට ඇතුළත් වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 26 වැනි දින

Please follow and like us:

Close