ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර කිරීම සඳහා මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් 500 ක සහල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර කිරීම සඳහා මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් 500 ක සහල් පරිත්‍යාගයක්

මියන්මාර රජය විසින් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට ආධාර කිරීම සඳහා පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 500 ක සහල් තොගයක් 2026 පෙබරවාරි 09 වැනි දින කොළඹ වරායේදී ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙන ලදී.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම පරිත්‍යාගය භාර ගත්තේය. ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති මාර්ලර් තාන් ටයික් මහත්මිය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරීන් ඉදිරියේ අමාත්‍ය සමරසිංහ මහතා වෙත මෙම පරිත්‍යාගය උත්සවාකාරයෙන් භාර දෙන ලදී.

මෙම සහල් පරිත්‍යාගයේ අරමුණ වන්නේ ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ ප්‍රයත්න සඳහා සහය වීම සහ මෑත කාලීනව ඇතුවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට ආධාර සැපයීමයි.

ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වයෙන් පසු මෙරට යථා තත්ත්වයට පත්වෙමින් සිටින සහ යළි ගොඩනැගෙමින් සිටින කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින සහයෝගීතාව සංකේතවත් කරමින් දැක්වූ මෙම කාලෝචිත සහය සඳහා ශ්‍රී ලංකා රජය මියන්මාර් රජයට සහ ජනතාවට සිය අවංක කෘතඥතාව පළ කළේය.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 12 වැනි දින

Please follow and like us:

Close