ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා නිවැරදි දිශාවට ගමන් කරන බවට චීන විදේශ අමාත්‍ය වන්ග් යී සුභවාදී අදහස් දක්වයි.

ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා නිවැරදි දිශාවට ගමන් කරන බවට චීන විදේශ අමාත්‍ය වන්ග් යී සුභවාදී අදහස් දක්වයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12/01) දින චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූයේය.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යෑම මෙම හමුවේ අරමුණ විය. ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක හුවමාරුවන් තුළින් මුල් බැසගත් සහ දශක හතකට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගුකාලීන මිත්‍රත්වය සහ දිගුකල් පවත්නා සහයෝගීතාව අමාත්‍යවරු දෙදෙනාම තහවුරු කළහ. වෙළෙඳාම, ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක යන ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට අමාත්‍ය හේරත් මහතා සිය කෘතඥතාව පළ කළ අතර, නැවත පදිංචි කිරීම, නැවත ස්ථානගත කිරීම සහ නැවත ගොඩනැගීමේ දෙවන අදියර සඳහා, විශේෂයෙන් හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ඇතුළු බලපෑමට ලක් වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාද තවදුරටත් සහය ඉල්ලා සිටියේය. මෙම මුලපිරීම සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට අමාත්‍ය වන්ග් සහතික වූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගවත් යථා තත්ත්වයට පත් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. රජයේ ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති ද ඔහු පිළිගත් අතර, ශ්‍රී ලංකාව තම ජනතාවගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බවට සුභවාදී ලෙස අදහස් දැක්වූයේය.

ජාත්‍යන්තර සංසදවලදී චීනයේ ඵලදායී කාර්යභාරය අගය කළ අමාත්‍ය හේරත්, එක් චීනයක් ප්‍රතිපත්තිය සහ චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම යළි අවධාරණය කළේය.

2025 වසරේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කරන ලද චීන සංචාර ඇතුළුව මෑතකදී සිදු වූ සාර්ථක ඉහළ මට්ටමේ හුවමාරු පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනාම සිහිපත් කළහ.

හම්බන්තොට සයිනෝපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරන බව අමාත්‍ය හේරත් මහතා මෙම හමුවේදී දැනුම් දුන්නේය. 2027 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සරය ඒකාබද්ධව සැමරීමටද දෙපාර්ශ්වයම එකඟ විය.

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මියාඕ දේයු, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඔ

2026 ජනවාරි 12 වැනි දින

         

 

         

Please follow and like us:

Close