
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් අතිගරු පෝල් රිචඩ් ගැලගර් අගරදගුරුතුමන් 2025 නොවැම්බර් 3 වැනි දින සිට 8 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරයට සමගාමීව සිදුවු මෙම සංචාරය ශුද්ධාසනය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍ර සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් අගරදගුරු හිමිපාණන් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිගරු කාදිනල් මැල්කම් රංජිත් සහ අතිගරු ආචාර්ය හැරල්ඩ් පෙරේරා යන හිමිපාණන් වහන්සේලා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී, ශුද්ධාසනයේ දූත පිරිස පිළිගැනීමට එක් වුහ.
අගරදගුරු ගැලගර් හිමිපාණන් සිය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ බහුවිධ අංශ කෙරෙහි අවධානය යොමු විය. අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළුව, ශුද්ධාසනය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමිය සිය කෘතඥතාව පළ කළ අතර, බහුත්ව ප්‍රවේශය තුළින් සියලු ජන වර්ගයන්ට පොදු වූ, සංවාදය සහ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ප්‍රතිසන්ධානය ළඟා කරගැනීමට රජය දක්වන කැපවීම නැවත තහවුරු කළහ. අගරදගුරු ගැලගර් හිමිපාණන් ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගය කළ අතර ශ්‍රී ලාංකික ජනතාව සමඟ ශුද්ධාසනයේ අඛණ්ඩ සහයෝගීතාව ප්‍රකාශ කළේය. එසේම, ශුද්ධෝත්තම XIV වැනි ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස නිල ආරාධනයක් කරන ලදී.
අගරදගුරු ගැලගර් හිමිපාණන්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර ශක්තිමත් සහ අඛණ්ඩ සහයෝගීතාව මෙම හමුවේදී යළිත් තහවුරු වූ අතර, Caritas Sri Lanka–SEDEC හරහා සපයනු ලබන මානුෂීය ආධාර, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ බහු ආගමික සමාජය තුළ විවිධ ඇදහිලි පදනම් කරගත් සහජීවනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධාරණය කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන්හි වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
ඔවුන්ගේ සාකච්ඡාවලින් අනතුරුව, විදේශ අමාත්‍යවරුන් දෙදෙනාම ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින්, සාමය, මානව ගරුත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා ඇති හවුල් කැපවීම නැවත තහවුරු කළහ. පාරිසරික තිරසාරභාවය සහ සමාජ යුක්තිය වැනි ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සහයෝගීතාවයේ නව මාර්ග ගවේෂණය කිරීමට ද ඔවුහු එකඟ වූහ.
නොවැම්බර් 4 වැනි දින, ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සඳහා සැමරුම් උත්සවයක් ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. "සංවාදය සහ සාමය උදෙසා එක්සත්ව කටයුතු කිරීම: ශුද්ධාසනයේ ඉදිරිදර්ශනය සහ කැපවීම" යන මැයෙන් අගරදගුරු ගැලගර් හිමිපාණන් විවෘත දේශනයක් පැවැත්වූ අතර, සාමය සහ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වතිකානුවේ කැපවීම නැවත තහවුරු කළේය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු ක්‍රිෂාන්ත අබේසේන ස්තූති කතාව පවත්වමින්, ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රතිසන්ධානය සහ ආගමික සහජීවනය සඳහා ශුද්ධාසනයේ දිගු කාලීන සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය.
මෙම සංචාරය තුළින්, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශුද්ධාසනයේ කැපවීම සහ ශ්‍රී ලංකාව සමඟ අන්තර් ආගමික සංවාදය, සමාජ සහජීවනය සහ අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම නැවත තහවුරු විය. අගරදගුරු ගැලගර් හිමිපාණන්ගේ සංචාරය අතරතුරදී පැවති කටයුතු මඟින් ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කළ අතර, අධ්‍යාපනය, සාමය ගොඩනැගීම සහ ආගමික නිදහස ප්‍රවර්ධනය කිරීමේ අනාගත සහයෝගීතාව සඳහා අඩිතාලමක් ලෙස ක්‍රියා කරනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 නොවැම්බර් 13 වැනි දින







