
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ නෙදර්ලන්ත රාජධානිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල දෙවන වටය 2025 ඔක්තෝබර් 29 වැනි බදාදා හේග් හිදී පැවැත්විණි. නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ ඕෂනියා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩොමිනික් කුහ්ලිං විසින් ලන්දේසි දූත පිරිස මෙහෙයවන ලද අතර, ශ්‍රී ලංකා දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න විසිනි.
දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාව සහ පොදු වටිනාකම් පදනම් කරගෙන මෙම හමුව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඇති කැපවීම නැවත තහවුරු කරමින්, නියෝජිතයින් දෙදෙනාම අඛණ්ඩ සහයෝගීතාව සමාලෝචනය කළ අතර 2026 වසරේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීමට දෙරට බලාපොරොත්තු වන බැවින්, සෙසු සහයෝගීතාවන්ට අමතරව සමුද්‍රීය හා සංස්කෘතික සහයෝගීතාව කෙරෙහි නැවත නව අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ඔවුහු අවධාරණය කළහ. රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සුදුසු ආකාරයෙන් සැමරීමේ ක්‍රම සහ විධි දෙපාර්ශ්වයම සාකච්ඡා කළහ.
අඛණ්ඩ සංස්කෘතික සහයෝගීතාව, දෙරට අතර පවතින සබඳතාවයේ වැදගත් අංගයක් ලෙස නියෝජිත කණ්ඩායම් දෙක විසින් පිළිගනු ලැබිණි. සංස්කෘතික උරුමයන් ගෞරවනීය ලෙස ආපසු ලබා දීම තුළින් ඓතිහාසික උරුමයන් ආමන්ත්‍රණය කිරීම සඳහා නෙදර්ලන්තය සතු කැපවීම ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් අගය කරන ලදී. ශ්‍රී ලංකා ලේඛනාගාරයේ දැනට තැන්පත් කර ඇති ලේඛනාගාර සංරක්ෂණය, ප්‍රතිසංස්කරණය සහ ඩිජිටල්කරණය කිරීම සඳහා නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය අතර අඛණ්ඩව ක්‍රියාත්මක වන ලන්දේසි-ශ්‍රී ලංකා සහයෝගීතාව දෙපාර්ශ්වයම විසින් පිළිගනු ලැබිණි.
දෙපාර්ශ්වයම දෙරට අතර පවතින වත්මන් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා මට්ටම සමාලෝචනය කළ අතර අදාළ වෙළෙඳ මණ්ඩල අතර වැඩි සහයෝගීතාවක් ගවේෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ආර්ථික සහයෝගීතාව සඳහා පවතින නව අවස්ථා ගවේෂණය කළහ. වර්තමානයේ නෙදර්ලන්තය සංචාරක කර්මාන්තය සඳහා ඉහළම මූලාශ්‍ර වෙළෙඳපොළවල් 10 අතරට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පාර්ශ්වය සඳහන් කළ අතර සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලබා දෙන ආකර්ෂණීය ස්ථාන මෙන්ම සංචාරක යටිතල පහසුකම්වල ආයෝජන සඳහා ඇති අවස්ථා ද ගෙනහැර දැක්වීය.
වරාය සංවර්ධනය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම සාකච්ඡාවලදී අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලන්දේසි ආයතන සමඟ පවත්වා ගෙන යන දිගුකාලීන තාක්ෂණික සහ වාණිජ හවුල්කාරිත්වයන් පිළිබඳ සඳහන් කළේය.
දෙපාර්ශ්වය කලාපීය සහ ජාත්‍යන්තර සංවර්ධනයන් සහ බහුපාර්ශ්වික ආයතනවල සහයෝගීතාවය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය තුළ එකිනෙකාගේ අපේක්ෂකත්වයන් සඳහා දැක්විය හැකි සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළහ. තවද, බිම්ස්ටෙක් සහ අයෝරා වැනි මුලපිරීම් හරහා කලාපීය ස්ථාවරත්වය සහ සමුද්‍රීය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ කැපවීම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර වරින් වර පැවැති සාකච්ඡා ඇතුළුව අඛණ්ඩ සංවාදයක වැදගත්කම මෙම රැස්වීමේදී නැවත තහවුරු විය. ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමට සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අන්‍යෝන්‍ය වශයෙන් පහසු අවස්ථාවකදී මීළඟ රැස්වීම කැඳවීමට දෙපාර්ශ්වයම එකඟ විය.
ශ්‍රී ලංකා දූත පිරිසට නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රේඛා ගුණසේකර, ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ, හේග් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සශිප්‍රභා විජේරත්න සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ කෞමදී විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.
නෙදර්ලන්ත දූත පිරිසට නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක, නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාව පිළිබඳ නිලධාරීන් දෙදෙනෙකු සහ නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් නිලධාරියෙකු ඇතුළත් විය.
විදේශ කටයුතු, විදේශ කටයුතු අමාත්‍යාංශය
විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හේග්
කොළඹ 01
2025 ඔක්තෝබර් 30 වැනි දින



