විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිය ජිනීවා සංචාරය අවසන් කරයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිය ජිනීවා සංචාරය අවසන් කරයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිය ජිනීවා සංචාරය අවසන් කරයි. එතුමා 2025 සැප්තැම්බර් 8 වැනි දින  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරයට සමගාමීව පැවැති අන්තර්ක්‍රියාකාරී සංවාදය අතරතුරදී ශ්‍රී ලංකාව පිළිබඳ රජයේ ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

දේශීය ක්‍රියාවලීන් තුලින් ප්‍රතිසන්ධානය ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම තහවුරු කිරීමේ පරිවර්තතනීය ක්‍රියාවලිය උදෙසා රජය විසින් දැනටමත් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වන අදහස් අමාත්‍ය හේරත් නැවත අවධාරණය කළේය.

බාහිරව පනවන ලද යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකාව විසින් දක්වනු ලබන විරෝධය විදේශ අමාත්‍යවරයා තවදුරටත් තහවුරු කළේය.

අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ද හමුවූ අතර එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රට තුළ ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලබා දිය හැකි සහයෝගීතාවය සහ සහාය පිළිබඳව සාකච්ඡාවේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථික, සමාජීය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළු සියලුම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. කවුන්සිලය වෙත සිදුකළ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව අමාත්‍ය හේරත් වැඩිදුර තොරතුරු ලබා දුන් අතර, ඒවා සම්පූර්ණ කිරීම සඳහා රජයට කාලය සහ අවකාශය අවශ්‍ය බව නැවත අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ලබා දුන් අවස්ථාව සහ රජය විසින් සපයන ලද පහසුකම් වෙනුවෙන් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සිය ඉමහත් කෘතඥතාව පළ කළ අතර රට තුළ කල් පවතින සංහිඳියාවක් ඇති කිරීමට රජයට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව තවදුරටත් අවධාරණය කළේය.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ස්විට්සර්ලන්තයේ තානාපති ජර්ග් ලෞබර් ද අමාත්‍ය හේරත් හමුවූ අතර, එහිදී කවුන්සිලය සමඟ ඇති ඉහළ මට්ටමේ දේශපාලන සම්බන්ධතාවයේ සංකේතයක් ලෙස අමාත්‍යවරයාගේ සංචාරය පිළිගන්නා ලදී. අන්තර්ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වමින් අදහස් දැක්වු සමාන මතධාරී රටවල තානාපතිවරුන් විශාල සංඛ්‍යාවක් සමඟ කටයුතු කරමින් අමාත්‍ය හේරත් මහතා ඔවුන්ගේ අඛණ්ඩ උපකාරය සහ සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 සැප්තැම්බර් 14 වැනි දින

Please follow and like us:

Close