
ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර දේශපාලන උපදේශනවල තුන්වැනි වටය 2025 සැප්තැම්බර් 12 වැනි දින කොළඹ දී සාර්ථකව අවසන් විය.
ආරම්භක අදහස් දැක්වීම සිදු කරමින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, දෙරට අතර පවතින උණුසුම් හා මිත්‍රශීලී සබඳතා පුළුල් කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. විශේෂයෙන් 2026 වසරේදී සැමරෙන දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය නිමිත්තෙන් පිලිපීනය එහි නේවාසික දූත මණ්ඩලය කොළඹ දී නැවත විවෘත කිරීම පිළිබඳව සලකා බලනු ඇතැයි යන බලාපොරොත්තුව ඇය ප්‍රකාශ කළාය. ආසියාන් සංවිධානයේ මීළඟ සභාපතිත්වය භාර ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාව පිලිපීනය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇය තවදුරටත් සඳහන් කළාය.
ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය සමාලෝචනය කිරීමට සහ බහුවිධ අංශ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මාර්ග ගවේෂණය කිරීමට මෙම රැස්වීම ඵලදායී අවස්ථාවක් විය. වෙළඳාම, ආයෝජන, ශ්‍රමය, ආරක්ෂක, ආරක්ෂණ, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික හුවමාරු ක්ෂේත්‍ර ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික කරුණු පිළිබඳව දෙපාර්ශ්වයම ඵලදායී සාකච්ඡාවල නිරත වූහ.
තාක්ෂණ හුවමාරුව, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතාව සහ සහල් පර්යේෂණ යන ක්ෂේත්රවල සහයෝගීතාවයට අමතරව, පොල් සහ වැවිලි කර්මාන්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තයට මෙම සාකච්ඡාවල ප්රමුඛ ස්ථානයක් හිමි විය . ධීවර හා ජලජීවී වගාව ද පුළුල් සහයෝගීතාව සඳහා උචිත ක්ෂේත්‍ර ලෙස හඳුනා ගන්නා ලද අතර, විශේෂයෙන් 'මිල්ක් මසුන්' අභිජනන තාක්ෂණය සම්බන්ධයෙන් පිලිපීනයේ උසස් විශේෂඥතාවයෙන් ආභාෂය ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාව අගය කරයි.
ශ්‍රී ලංකාව, සංක්‍රමණ පාලනය සම්බන්ධයෙන් පිලිපීනයේ ගෝලීය නායකත්වය හඳුනා ගත් අතර, කම්කරු අංශයේ සහයෝගීතාවයේ වැදගත්කම ද දෙපාර්ශ්වයම අවධාරණය කළහ. කම්කරු සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, රැකියා සඳහා පිටත්වීමේ පුර්ව සූදානම, නියාමනය කරන ලද බඳවා ගැනීම් සහ සේවයේ යෙදවීම සහ සංක්‍රමණික සේවකයින්ගේ සුභසාධනය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයද සාකච්ඡාවලදී ඉස්මතු විය. විශේෂයෙන් පිලිපීනයේ තාක්ෂණික අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අධිකාරිය (TESDA) සමඟ ඇතිකර ගත් හවුල්කාරිත්වයන් හරහා අධ්‍යාපනය සහ තාක්ෂණික පුහුණුව සඳහා සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා ද පිළිගනු ලැබිණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ පිලිපීනයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සහ මෙහෙයුම් මධ්‍යස්ථානය (CITEM) අතර සහයෝගීතාවය තුලින් වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩි දියුණු කිරීමට දෙරටේ සූදානම ප්‍රකාශ විය.
අනුස්මරණ ඒකාබද්ධ තැපැල් මුද්දර නිකුත් කිරීම, ලෝක ප්‍රසිද්ධ පිලිපීන සොප්රානෝ ගායන ශිල්පින් දෙපළක් වන ද නයිටිංගේල්ස් සහ බ්‍රයි සිමාෆ්රැන්කා විසින් කොළඹදී පවත්වන ලද ප්‍රසංගයක්, කොළඹදී පැවැත්වෙන පිලිපීන චිත්‍රපට උළෙලක් සහ පිලිපීන සූපශාස්ත්‍ර රාත්‍රියක්, 2026 වසරේදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සැමරීමේ වැඩසටහන්වලට ඇතුළත් විය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නැගෙනහිර ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු පිළිබඳ අතිරේක ලේකම් සශිකලා ප්‍රේමවර්ධන සහ පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (DFA) ප්‍රතිපත්ති පිළිබඳ උප ලේකම් මා හෙලන් බී. ඩි ලා වේගා මෙහි සම-සභාපතිත්වය දැරූහ.
තානාපතිනිනී පී. කේන්ග්ලට්, ආසියානු සහ පැසිෆික් කලාප කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂිකා මාරියා ෂීලා යූ මොනෙඩෝරෝ-ආර්නෙස්ටෝ, ප්‍රතිපත්ති පිළිබඳ උප ලේකම් කාර්යාලයේ විශේෂ සහකාර ජේ ෆ්‍රැන්සිස් ජී. අල්කන්ටාරා සහ ආසියානු සහ පැසිෆික් කලාප කටයුතු පිළිබඳ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා බොජර් බී. කැප්ටායි පිලිපීන දූත පිරිසට ඇතුළත් වුහ.
පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය චානක තල්පහේවා සහ අමාත්‍යාංශය සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරන අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වුහ.
දේශපාලන උපදේශනවල මීළඟ වටයේ සාකච්ඡා 2026 වසරේදී මැනිලාහිදී පැවැත්වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 සැප්තැම්බර් 13 වැනි දින





