
සභාපතිතුමනි,
මහ කොමසාරිස්තුමනි,
සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,
මාගේ රට පරිවර්තනීය වෙනසක් වෙත ළඟා වීමේ ඓතිහාසික ගමන් මඟකට අවතීර්ණ වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඔබ ඇමතීමට අදහස් කරමි. මෙම ගමනට ප්රජාතන්ත්රවාදී පාලනය, මානව හිමිකම්, සියලු අංශ ඇතුළත් වු ආර්ථික වර්ධනය සහ ජාතික සමගිය අදාල වේ.
මෙම වසරේ මාර්තු මාසයේදී, ජාතික ජන බලවේග (NPP) රජය බලයට පත්වීමෙන් මාස 3කට පසු, මම මෙම කවුන්සිලයේ ඉහළ මට්ටමේ සැසිය අමතමින්, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම තහවුරු කරන අර්ථවත් හා ප්රගතිශීලී වෙනසක් උදා කරලීම සඳහා වන අප රජයේ පැහැදිලි දැක්ම ගෙනහැර දැක්වූයෙමි.
ඉන් මාස හයකට පසු, මහ කොමසාරිස්වරයා, අද දින ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී, මෙම වෙනස පිළිබඳ දැක්ම යථාර්ථයක් බවට පත් කරගැනීමෙන් අප ලබා ඇති පැහැදිලි ප්‍රගතිය ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් මම සතුටට පත් වන්නෙමි.
සභාපතිතුමනි,
2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තේරී පත් වූයේය. ඉන් අනතුරුව 2024 නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ සියලුම ප්රජාවන්ගෙන් ලැබුණු අතිමහත් ජනවරමක් සහිතව නව රජය පිහිටුවීය. ශ්‍රී ලංකා ඉතිහාසයේ උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජනතාව එක් දේශපාලන පක්ෂයකට ඒ සා විශාල සහයෝගයක් ලබා දුන් පළමු අවස්ථාව මෙය වේ.
වර්තමාන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ජනවාර්ගික නියෝජනයක් සහිත ව්‍යවස්ථාදායකයන්ගෙන් එකක් වන අතර, වාර්තාගත කාන්තා සහ විවිධ ප්රජාවන්ගේ නියෝජනයක් එයට ඇතුළත් වේ. පළමු වරට, මලයියහර් ප්‍රජාවෙන් කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සහ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකු ද මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී තිබේ.
බලයට පත්වීමෙන් මාස කිහිපයක් ඇතුළත, වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රමාද වෙමින් තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය පියවර ගත් අතර, එමඟින් ජනතාවගේ ඡන්ද බලය තවදුරටත් තහවුරු විය. පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන ද්විත්වයම නිදහස්, සාධාරණ සහ සාමකාමී ආකාරයකින් පවත්වන ලද අතර, පළමු වතාවට, පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩත්වය සහ මැතිවරණ අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සහමුලින්ම තුරන් කිරීමට හැකිවීම දශක ගණනාවක් මුළුල්ලේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට රජය දැක්වු අධිෂ්ඨානය පැහැදිලිව ප්‍රකාශ කිරීමක් වේ. සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් වූ විගස පළාත් සභා සඳහා වන මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිසම විසින් පවත්වනු ඇත.
සභාපතිතුමනි,
මින් මාස 11කට පෙර අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වන විට, ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක දුර්වල බලපෑම්වලට මුහුණ දෙමින් තිබිණි. ආර්ථික අර්බුදයේ බලපෑම් සහ එයට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් ජනගහනයේ සියලුම කොටස්, විශේෂයෙන් උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින සහ සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජන කොටස්වලට බොහෝ දුෂ්කරතා ඇති විණි. එබැවින්, සමාජ ආරක්ෂණ, සුභසාධන සහ බලගැන්වීමේ පියවර මාලාවක් හරහා ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ආර්ථික අභියෝග සමනය කිරීම රජයේ කඩිනම් ප්‍රමුඛතාවක් විය.
2025 වසරේ ජාතික අයවැය මඟින් සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා ඉතිහාසගත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන ලද අතර, රට පුරා ගොවිතැන, ධීවර කර්මාන්තය සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි ආර්ථික අංශ සඳහා විශේෂ සහන සැලසීය. සමාජ සුභසාධනය සහ ආරක්ෂණය වෙනුවෙන් වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන ලද අතර, අවධානය යොමු කරන ලද බලගැන්වීමේ පියවරයන් තුලින් කාන්තාවන්, දරුවන්, අනාථ දරුවන්, ආබාධිත හෝ ඔටිසම් දරුවන් ඇතුළු, වතු ආශ්රිත ජනගහනය, සිසුන්, ආබාධ සහිත පුද්ගලයින් සහ ගැටුම්වලින් පීඩාවට පත් හෝ ඌන සංවර්ධිත ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි ජන කොටස් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.
රජය, උතුරු සහ නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජීවනෝපායන් සඳහා සහාය වීම සහ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින අතර, සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනයට සහාය වීම අරමුණු කර ගෙන සිටියි. නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීම, නිවාස වැඩසටහන කඩිනම් කිරීම සහ පවුල්වලට අත්‍යවශ්‍ය සහන ලබා දීම සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබේ.
වර්තමානය වන විට, අපි ආර්ථිකය ස්ථාවර කිරීමට සමත් වී ඇති අතර, සැමට සාධාරණ ලෙස අවස්ථා බෙදා හැරීම තුළින් ආර්ථික පරිවර්තනය සහ වඩා යහපත් ආර්ථික ප්රජාතන්ත්රවාදයක් සඳහා අඩිතාලම දැමීමේ ක්‍රියාවලියක දැනටමත් යෙදී සිටින්නෙමු. ඒ සමඟම, අපගේ ජනතාව මුහුණදෙන ආර්ථික අභියෝගවල අඛණ්ඩ බලපෑම පිළිබඳව අප දැනුවත් වී සිටින අතර, ඔවුන්ගේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය තීරණාත්මක පියවර ගනිමින් සිටියි.
සභාපතිතුමනි,
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය ශක්තිමත් කිරීම රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය බව රජයේ දැඩි විශ්වාසයයි. රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ දායකත්වය මත පදනම් වූ සහ ඔවුන්ට ප්රතිලාභ ලබා දෙන, සියලු අංශ ඇතුළත් ආර්ථික සංවර්ධනය කෙරෙහි අපි විශ්වාසය තබා ඇත්තෙමු. ආර්ථික වර්ධනය ඇතුළු අපගේ ජාතික අභිලාෂයන් සාක්ෂාත් කර ගත හැක්කේ, අප ජාතියක් ලෙස එක්ව කටයුතු කර බෙදුම්වාදය, ජාතිවාදය සහ දූෂණය මුලිනුපුටා දැමුවහොත් පමණි.
එම අදහස පෙරදැරි කොටගෙන, ජාතික සමගිය, ප්රතිසන්ධානය සහ මානව හිමිකම් ආරක්ෂා කරන අතරම, සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා, මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ, රජය දැනටමත් ප්‍රතිසංස්කරණ සහ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ.
මේ දක්වා අප පැමිණි පරිවර්තනීය ගමන් මඟෙහි කැපී පෙනෙන අවස්ථා කිහිපයක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට මම අදහස් කරමි.
- පසුගිය මාස කිහිපය තුළ, දූෂණ විරෝධී ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් නව නීති හඳුන්වා දෙනු ලැබිණි. චෝදනා එල්ල වූ අපරාධකරුවන්ගේ සමාජ තත්ත්වය නොසලකමින් සහ කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව බලධාරීන් විසින් ස්වාධීන විමර්ශන සහ නඩු පැවරීම් සිදු කරනු ලැබිණි. මෙම උත්සාහයන් සුවිශේෂී තීන්දු කිහිපයක්ම ලබා දීමට හේතු වී තිබේ. දූෂණය කිසිදු ආකාරයකින් නොඉවසන බවට මෙයින් ප්‍රබල පණිවිඩයක් ලබා දී ඇති අතර එමඟින් අපගේ නියෝජිතායතන කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය ශක්තිමත් වේ. මෙම තීරණාත්මක පියවර මගින් සියලුම ශ්‍රී ලාංකිකයින් අපේක්ෂා කරන සහ ලැබිය යුතු යුක්තිය සහ සාධාරණත්වය සඳහා අපගේ සාමූහික කැපවීම පිළිබිඹු වේ. අභියෝග මධ්‍යයේ වුවද, සෑම පුරවැසියෙකුගේම යහපැවැත්ම සහ ගෞරවය වෙනුවෙන් දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරන බැවින්, අපගේ අධිෂ්ඨානය ස්ථිරව පවතියි.
- මෙම වසර ආරම්භයේදී, නව දේශපාලන සංස්කෘතියක් සහ රට තුළ සදාචාරාත්මක හා යහ පාලනයක් සඳහා ඇති කැපවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කරනු ලැබීය. සියලුම රාජ්‍ය ආයතන මෙම වැඩසටහන සාක්ෂාත් කරගැනීම සඳහා සම්බන්ධීකරණ ක්‍රියාකාරී සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියි.
සභාපතිතුමනි,
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව ජාතික නීති සහ ප්‍රතිපත්ති හඳුන්වාදීම සඳහා අප විසින් ක්‍රියාවලීන් කිහිපයක් ද ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවක් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කෙරෙන නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනයක් සඳහා යෝජනා සකස් කෙරෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් විමසා ඇති අතර, ජාත්‍යන්තර නිසි භාවිතයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සම්බන්ධ කොටගෙන ඇත. මෙම සාකච්ඡා මත පදනම්ව, මෙම මාසයේ නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනයක් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට රජය අපේක්ෂා කරයි. රට තුළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ගැටළු ඵලදායී ලෙස විසඳීම සඳහා රජය නව සංවිධානාත්මක අපරාධ පනතක් සඳහා ද කටයුතු ආරම්භ කර තිබේ.
- විවිධ පාර්ශවකරුවන් විසින් මතු කරන ලද ගැටළු විසඳීම සඳහා, මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන සකස් කරමින් පවතියි. පනත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන යෝජනා පිළිබඳව මහජනතාවගේ නිරීක්ෂණ කැඳවා ඇති අතර, දැනට භාෂා තුනෙන්ම මාධ්‍ය නිවේදන ප්‍රකාශයට පත් කර තිබේ.
- සිවිල් ක්‍රියාකාරකම් සහ සහභාගීත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඒමට පියවර ගනිමින් පවතියි.
- කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ කැපවීම් ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කර ඇති අතර, කාන්තා අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීම සඳහා සංශෝධිත ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳ පනත් කෙටුම්පතක් ඇතුළු නව නීති සම්පාදනය වෙමින් පවතියි. ළමා අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කරමින් පවතින අතර, නව ආබාධිත අයිතිවාසිකම් පනත් කෙටුම්පත අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයක් හඳුන්වා දෙනු ඇත. ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපති ලෙස අප ලබාදෙන නායකත්වයෙන් ද මෙම ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබිඹු වේ.
- ඉතිහාසයේ ප්‍රථම වතාවට, වත්මන් රජය මලෙයියහර් ප්‍රජාව ශ්‍රී ලංකාවේ සුවිශේෂී ප්‍රජාවක් ලෙස පිළිගත් අතර, මෙම පිළිගැනීම විධිමත් කිරීම සඳහා අවශ්‍ය රජයේ ක්‍රියාවලීන් අපි දැනටමත් අනුගමනය කරමින් සිටින්නෙමු. වතුකරයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා පහසුකම් සැලසීමට නීති සම්පාදනය කරමින් සිටින අතර, එම ප්‍රජාවේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා නව නිවාස 5000කට අධික ප්‍රමාණයක කටයුතු කඩිනමින් අවසන්කොට ඔවුන්වෙත භාරදීමට පියවර ගෙන ඇත.
සභාපතිතුමනි,
සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ප්රතිසන්ධානය, මානව හිමිකම් සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වන රජයේ කැපවීම ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයකදී සහ මෙම කවුන්සිලය සමඟ මා සිදු කළ අන්තර්ක්‍රියා සැසි වලදී පැහැදිලිව පෙන්වා දී ඇත.
බොහෝ අවස්ථාවලදී පීඩනයට සහ අයිතිවාසිකම් උල්ලංඝනයන්ට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙස, අප මානව හිමිකම්වල මූලික වැදගත්කම සැබවින්ම විශ්වාස කරන අතර සෑම පාර්ශ්වයකින්ම ගැටුම්වලින් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අතිමහත් වේදනාව හා දුක්ඛිත තත්ත්වයන් අප හඳුනාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම අවශ්‍යතාවය ඉස්මතු කිරීමට බොහෝ කලකට පෙර එනම් 2009 වසරේ යුද්ධය අවසන් වූ වහාම, සත්‍ය සහ ප්රතිසන්ධාන කොමිසමක් පිහිටුවන ලෙස පළමුවෙන්ම ඉල්ලා සිටියේ මා නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය බව මම සිහිපත් කරමි.
සභාපතිතුමනි,
එබැවින්, මේ සම්බන්ධයෙන් අපගේ කැපවීම, මානව හිමිකම් කවුන්සිලය හෝ වෙනත් මානව හිමිකම් යාන්ත්‍රණ සහ ගිවිසුම්වලට අනුකූල වීමේ අවශ්‍යතාව මගින් පමණක් මෙහෙයවනු ලබන්නක් නොවේ. එය අපගේ මූලධර්ම, අත්දැකීම් සහ අපගේම ජනතාවගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සහතික කිරීමේ ප්‍රමුඛතම අවශ්‍යතාවයෙන් පැන නගින කැපවීමක් වේ.
ජනාධිපති දිසානායක මහතා අවධාරණය කර ඇති පරිදි, කිසිදු බෙදීමකින් හෝ වෙනස්කොට සැලකීමකින් තොරව, ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එම විවිධත්වය සමරන රටක් සඳහා අප දැඩි ලෙස සහ අවංකව කැපවී සිටින අතර, ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොතබන බවට අපි අධිෂ්ඨාන කොටගෙන සිටින්නෙමු.
නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ බවට චෝදනා එල්ල වන ඕනෑම පුද්ගලයෙකු ඔවුන්ගේ සමාජ තත්ත්වය, පසුබිම හෝ වෙනත් ඕනෑම පදනමක් නොසලකා ස්වාධීන ජාතික ක්‍රියාවලියක් හරහා විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සහතික කිරීමට ද අපි කැපවී සිටින්නෙමු.
මෙම ප්‍රතිපත්තියට අනුකූලව, අදාළ පුද්ගලයින්ගේ පසුබිම නොසලකා, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් විමර්ශනය කර නඩු පැවරීමට ක්‍රියාකාරී පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වර්ධනයන් නිරීක්ෂණය කරන ඔබ සැමට මේ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් දැකගත හැකි වනු ඇත.
රජය ගෙන ඇති ප්‍රධාන පියවර කෙටියෙන් ගෙනහැර දැක්වීමට මම අදහස් කරමි:
- රජය බලයට පත්වීමෙන් පසු කෙටි කාලයක් තුළ, දශක ගණනාවකට පසු උතුරු පළාතේ සමහර මාර්ග මහජන භාවිතය සඳහා නැවත විවෘත කිරීම සහ දමිළ භාෂාව කතා කරන තරුණයින්ට ශ්‍රී ලංකා පොලිසියේ සේවය කිරීමට විවෘත ආරාධනයක් සිදු කිරීම ඇතුළුව විශ්වාසය ගොඩනැගීමේ පියවර ගණනාවක් ගෙන තිබේ.
- පසුගිය සතියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතත් උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහු සංවර්ධන වැඩසටහන් කිහිපයක් දියත් කරමින් උතුරේ ජනතාවගේ ඉඩම්, භාෂාමය සහ සංස්කෘතික අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සත්‍යය දැන ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළේය.
- අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), හානි පුර්ණය සඳහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය සංහිඳියා යාන්ත්රණයන්වල ස්වාධීනත්වය සහතික කිරීමෙන් සහ අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් ප්‍රතිපාදන ලබා දීම තුළින් එම නියෝජිතායතනවල කාර්යභාරය රජය තවදුරටත් ශක්තිමත් කරමින් පවතියි. මේ සඳහා, මිට සතියකට පෙරදී, අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කිරීම විශේෂ ප්‍රමුඛතාවයක් ලෙස සලකා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත රුපියල් මිලියන 375ක අතිරේක අරමුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.
- සත්‍ය හා ප්රතිසන්ධාන කොමිසමක් (TRC) පිහිටුවීම සඳහා ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.
- චෙම්මනි ඇතුළු සොහොන් බිම් පිළිබඳ රජයේ මැදිහත්වීමකින් තොරව, අධිකරණ අධීක්ෂණය යටතේ, ස්වාධීන පරීක්ෂණ සිදු කරමින් පවතියි. අදාළ ක්‍රියාවලීන් සඳහා ප්‍රමාණවත් සම්පත් රජය විසින් සපයනු ලබන අතර, එය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ සිදුකළ සිය සංචාරය අතරතුරදී, මහ කොමසාරිස් ටර්ක් මහතාට චෙම්මනි සොහොන් බිම වෙත ගොස් මේ සම්බන්ධයෙන් ආරම්භ කර ඇති ක්‍රියාවලීන් දැන ගැනීමට අවස්ථාව ලැබිණි.
- විශ්වසනීය දේශීය ක්‍රියාවලීන් හරහා වගවීම තහවුරු කිරීමට රජය කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ අධිකරණ මෑත කාලීනව ලබා දුන් තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පෙන්නුම් කරයි.
- යුක්තිය පසිඳලීම තවදුරටත් තහවුරු කිරීම සඳහා, ස්වාධීන මහජන නීතිඥ කාර්යාලයක් පිහිටුවීමට තීරණය කර තිබේ. මහජනතාවගෙන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඒ සම්බන්ධයෙන් අදහස් විමසා ඇත.
- රජය, පොලිසියට පූර්ණ ස්වාධීනත්වයක් ලබා දී ඇති අතර, පාස්කු ඉරිදා ප්‍රහාර, මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර ආදිය ඇතුළු දීර්ඝ කාලයක් මුළුල්ලේ විභාග වෙමින් පවතින නඩු රැසක විමර්ශන නැවත ආරම්භ කර ඇත. ඒ සමඟම, ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු විසින් බලය අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට නොවන්නෙමු.
- ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ දේශීය කාර්යාලයේ සහාය ඇතිව, ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය ජාතික සංහිඳියාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටියි.
- ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් නිදහස් කොටගෙන ඇති අතර, ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන ඉඩම් හැර අනෙකුත් සියලුම ඉඩම් නීත්‍යානුකූල හිමිකරුවන්ට ආපසු ලබා දෙන බවත්, නිදහස් කිරීමට නොහැකි ඉඩම් වෙනුවෙන් ප්‍රමාණවත් වන්දි ලබාදෙන බවත් රජය සහතික කර ඇත. තරඟකාරී හිමිකම් විසඳීමට සහ ආරවුල් පවතින ඉඩම්වල අයිතිය ස්ථාපිත කිරීමට ද අවශ්‍ය ක්‍රියාවලීන් සිදුවෙමින් පවතියි. වනාන්තර සහ අනෙකුත් රක්ෂිත සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශවල ජීවත් වන, ගැටුම්වලින් පීඩාවට පත් වූවන් ඇතුළු ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළු විසඳීම සඳහා අගෝස්තු මාසයේදී, අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කරනු ලැබිණි.
මේ සම්බන්ධයෙන්, මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මෙම ගැටලුව විසඳීමේ සැබෑ අරමුණින් බව අවධාරණය කිරීමට අපි අදහස් කරන්නෙමු. ගැටළු පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව, ඒ සඳහා අධිකරණ තීන්දුවක් නිකුත් කිරීමට පෙර රජය විසින් එම ගැසට් පත්‍රය අවලංගු කරනු ලැබිණි.
- ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීම සඳහා අනිසි ලෙස භාවිතා නොකරන තෙක්, ගැටුමේදී ජීවිත අහිමි වූ ආදරණීයයන් අනුස්මරණය කිරීමේ අයිතිය රජය විසින් තහවුරු කර ඇති අතර, ඒ අනුව, මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන්ව ඇති පරිදි, මෙම වසරේදී රටේ විවිධ ප්‍රදේශවල අනුස්මරණ උත්සව බාදාවකින් තොරව පවත්වා ඇත.
- සිවිල් සමාජයට නිදහසේ ක්‍රියාත්මක වීමට හැකි පරිසරයක් සහ අවකාශයක් සහතික කිරීමට අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, ඕනෑම හිරිහැරයක් හෝ බිය ගැන්වීමක් සම්බන්ධයෙන් පියවර ගැනීමට නොපසුබට වන්නෙමු.
- ප්රතිසන්ධානයෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා වන රජයේ දැක්මට අනුකූලව, 2025 දෙසැම්බර් මස පළමු සතියේදී ‘ශ්‍රී ලංකා දිනයක්’ සැමරීමට ජනාධිපති කාර්යාලය කටයුතු කරමින් සිටියි.
- චූදිතයෙකුට එරෙහිව මූලික සාක්ෂි මඟින් තහවුරු වී ඇති නඩුවක් තිබේ නම් පමණක් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීමට අදහස් කරන අතර, ඒ හේතුවෙන් වාර්තාවේ නීතිපති කාර්යාලය පිළිබඳ දක්වා ඇති ඍණාත්මක නිරූපණය තර්කානුකූල නොවේ. නීතිපතිවරයාගේ නඩු පැවරීමේ අභිමතය අසීමිත බලයක් නොවන අතර එය අධිකරණ සමාලෝචනයේ පූර්ණ බලයට යටත් වේ.
- යෝජිත සංශෝධන දක්වා ඇති පරිදි නිදහස් කිරීම්වලට සම්බන්ධ නොවන බැවින් වාර්තාවේ සංශෝධිත පුද්ගලික දත්ත ආරක්ෂණ පනත පිළිබඳ සඳහන දෝෂ සහගත වේ.
සභාපතිතුමනි,
ජාත්‍යන්තර වශයෙන්, අපි මානව හිමිකම් කවුන්සිලය සහ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම එක්සත් ජාතීන්ගේ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වී සිටින්නෙමු. ඉහළම මට්ටම් ඇතුළුව මෙම සම්බන්ධතාවයේ නවතම මුහුණුවර මීට මාස දෙකකට පෙර, එනම් 2025 ජුනි මාසයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව වෙත සිදුකළ සංචාරය තුළින් පිළිබිඹු විය.
තම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා සමාජයේ සියලුම ජන කොටස් පිළිබඳ පරිවර්තනයන්හි සැබෑ තත්ත්වය සහ සදාචාරාත්මක පාලනය, මානව හිමිකම් සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන මුලපිරීම් අත්විඳීමට මහ කොමසාරිස්වරයාට අවස්ථාව සැලසුනි. ගැටළු විසඳීමට රජය දක්වන සැබෑ විවෘතභාවය සහ දූෂණය පිටුදැකීමේ පියවර පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ පිළිගැනීමෙන් අපි දිරිමත් වූවෙමු. ශ්‍රී ලංකාවට එහි විවිධත්වය ශක්තියක් ලෙස වැළඳ ගනිමින් සාමකාමී සහජීවනයේ ආදර්ශයක් බවට පත්විය හැකි බව මහ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.
අද දින ඉදිරිපත් කරන ලද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ රටේ ධනාත්මක වර්ධනයන් මෙන්ම ඇතැම් ගැටළු ද අඩංගු බව අපි නිරීක්ෂණය කළෙමු. වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව රජය සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර, ඒවා දැනටමත් කවුන්සිලයේ සාමාජිකයින් සහ නිරීක්ෂකයින් වෙත ලබා දී ඇත.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා, ඔහුගේ වත්මන් වාර්තාවේ, ශ්‍රී ලංකාවට "පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට" අවස්ථාවක් ඇති බව හඳුනාගෙන තිබේ.
මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ, මහ කොමසාරිස්වරයා විසින් හඳුනාගත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සහ අපගේ ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීමට ඇති සැබෑ කැපවීම සහ හැකියාව පැහැදිලිව පෙන්නුම් කරන, ප්රත්යක්ෂ සහ තීරණාත්මක ක්‍රියාමාර්ග මාලාවක් රජය ගෙන ඇති බවට ඔබ සැම එකඟ වනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.
දැනටමත් සඳහන් කර ඇති පරිදි, ප්රතිසන්ධානය, මානව හිමිකම් සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම තහවුරු කර ගැනීම සඳහා රජයේ කැපවීම, කවුන්සිලය සමඟ අපගේ සම්බන්ධතාවය මගින් පමණක් මෙහෙයවනු ලැබෙන්නක් නොවේ. එය මානව හිමිකම්වල මූලික වැදගත්කම සහ අපගේම ජනතාවගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අපගේ සැබෑ විශ්වාසයෙන් පැන නගින කැපවීමක් වේ.
සභාපතිතුමනි,
ජනතාවගෙන් ලැබී ඇති පෙර නොවූ විරූ ජනවරම සමඟ ලබාදුන් වගකීම රජය සම්පූර්ණයෙන්ම වටහා ගෙන සිටින අතර, සාධාරණ සහ සමෘද්ධිමත් සමාජයක් සඳහා ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට රජය කැපවී සිටියි. බාහිර ක්‍රියාමාර්ග, බෙදීම් ඇති කිරීමට පමණක් දායක වන බවත්, එමඟින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අව්‍යාජ සහ පැහැදිලි ජාතික ක්‍රියාවලීන් අනතුරේ හෙළන බවත් අපි සැබෑ ලෙසම විශ්වාස කරන්නෙමු. ශ්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය වැනි අප මත පවරන ලද ඕනෑම බාහිර යාන්ත්රණයකට රජයේ විරුද්ධත්වය අපි ප්‍රකාශ කරන්නෙමු.
එබැවින්, සභාපතිතුමනි, අපගේ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවට ඔබේ සහයෝගය ලබා දීම අරමුණු කරගනිමින් රජය සමඟ සහයෝගයෙන් අත්වැල් බැඳ ගැනීමට මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට, එහි නිරීක්ෂකයින්ට සහ සියලුම පාර්ශවකරුවන්ට මම යෝජනා කිරීමට කැමැත්තෙමි. දෘශ්‍යමාන වන අපගේ අව්‍යාජ සහ අවංක ප්‍රවේශය, ගැඹුරු අවබෝධයකින් සහ කැපී පෙනෙන අගය කිරීමකින් ප්‍රතිනිර්මාණය කළ යුතුව ඇත. අපගේම දේශීය ක්‍රියාවලීන් හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා මෙම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඔබ සැමගේ සහය ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.



