ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් 2025 අගෝස්තු 06-10 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් 2025 අගෝස්තු 06-10 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් 2025 අගෝස්තු 06 සිට 10 වැනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු කළ නිල සංචාරය අවසන් කළාය.

ආණ්ඩුකාර ජනරාල්වරිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවාය. මෙම සංචාරයේදී, සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් කලාපයක් සඳහා ඉන්දියානු සාගර රටවල් දෙක සතු පොදු අභිලාෂයන් දෙපාර්ශ්වයම හඳුනාගත් අතර, ඉහළ මට්ටමේ සහයෝගීතාව සඳහා නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමද මෙම සංචාරයේදී සිදු විය.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා නායිකාවන් හමුවීම සඳහා සංවිධානය කරන ලද රැස්වීමකට ආණ්ඩුකාර ජනරාල් මොස්ටින් සහභාගී වූ අතර, ඔස්ට්‍රේලියානු රජය විසින් සහය දක්වන ලද සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහා බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල සංචාරය කළාය. ඓතිහාසික ගාලු කොටුව නැරඹීමට යෑමට පෙර ඇය හික්කඩුව සුනාමි කෞතුකාගාරයට ගොස් සුනාමි ස්මාරකයට උපහාර දැක්වූවාය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

ආණ්ඩුකාර ජනරාල්වරියගේ මෙම සංචාරය, මේ වසරේ ඔස්ට්‍රේලියාවෙන් මෙරටට සිදු කළ තෙවන ඉහළ මට්ටමේ සංචාරයයි. නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ෆ්‍රැන්සිස් ඇඩම්සන් ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණියහ. පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ඉහළ මට්ටමක් කරා ඔසවා තැබීමට දෙරට සතු උනන්දුව මෙවැනි සාර්ථක ඉහළ මට්ටමේ සංචාර මගින් පිළිබිඹු වෙයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 අගෝස්තු 11 වැනි දින

 

 

Please follow and like us:

Close