
තෙවන ජපන්-ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය 2025 ජූලි 30 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සංවාදය දෙරට අතර විදේශ ප්‍රතිපත්තිවලට අදාළ කරුණු සහ පුළුල් පරාසයක විහිදුණු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා සාධනීය වේදිකාවක් වූ අතර එමඟින් සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවස්ථාව සැලසුණි.
ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙන්ම විශේෂයෙන් වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්රයේ පොදු අවශ්‍යතා කෙරෙහිද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ණය තිරසරභාවය සඳහා ගනු ලබන අඛණ්ඩ ප්රයත්න පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය විස්තර කළ අතර, නිල ණයහිමි කමිටුවේ සම සභාපතිවරයා ලෙස ජපානය ඉටු කළ වැදගත් කාර්යභාරයද දැඩි ලෙස අගය කළේය.
ජපන් නිල සංවර්ධන ආධාරවල වටිනාකම සහ ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා එම ආධාර හරහා සැලසෙන සැලකිය යුතු දායකත්වය පිළිබඳවද මෙම සංවාදය අවධාරණය කළේය. ශ්‍රී ලාංකිකයන් 63,000 කට අධික සංඛ්‍යාවක් දැනට ජපානයේ පදිංචිව සිටින බැවින්, දෙපාර්ශ්වය ශ්‍රම සංක්‍රමණයට අදාළ ප්‍රධාන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, තිරසර හා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක සංක්‍රමණ රාමු සඳහා මාර්ග ගවේෂණය කළහ.
දෙරට අතර ආරක්ෂක සහ ආරක්ෂණ අංශවල සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහිද අවධාරණය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු (නැගෙනහිර) පිළිබඳ අතිරේක ලේකම් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහ ජපානයේ අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අමාත්‍ය මියාමොටෝ ෂින්ගෝ මහතා විසින් මෙම සංවාදයේ සම සභාපතිත්වය දරන ලදී.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 30 වැනි දින





