
ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ හවුල්කාරිත්වය පිළිබඳ විශේෂඥයින්ගේ තෙවන රැස්වීම 2025 ජූලි 29 වැනි දින බර්න් නුවරදී පැවැත්විණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකා අංශයේ අධ්යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණ හා පොලිස් දෙපාර්තමේන්තුවේ සංක්‍රමණ සඳහා වූ රාජ්‍ය ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ/ජාත්‍යන්තර කටයුතු පිළිබඳ තානාපති හෙන්ඩ්‍රික් ක්රවුස්කොෆ් යන මහත්වරු රැස්වීමේ සම සභාපතිත්වය දරන ලදී.
2016 වසරේදී මෙම වැඩසටහන දියත් කළ දින සිට සංක්‍රමණ හවුල්කාරිත්වය යටතේ ලබා ඇති ප්‍රගතිය මෙම රැස්වීමේදී සමාලෝචනය කරන ලද අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයට ද්විපාර්ශ්වික ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන විධිමත් ලෙස භාර දීමෙන් පසු හවුල්කාරිත්වයේ අනාගත ගමන් මග පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම වැඩසටහනට ස්විට්සර්ලන්තය අරමුදල් සපයන ලද අතර ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා තිරසර රාමු ආයතනිකකරණය කිරීමේ කැපවීම අවධාරණය කරයි.
ආරක්ෂිත, ක්‍රමවත් සහ නිත්‍ය සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම සහ සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් යන දෙපිරිසටම සම්භව රට සහ ගමනාන්ත රට යන දෙකෙහිම සංක්‍රමණික ප්රතිලාභ උපරිම කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම දෙපාර්ශ්වය නැවත තහවුරු කරන ලදී. පූර්ව පිටත්වීමේ දිශානතිය, සංක්‍රමණ කළමනාකරණය, කුසලතා සංවර්ධනය, නැවත ඇතුළත් කිරීම සහ නැවත ඒකාබද්ධ කිරීම සහ මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම කෙරෙහි සාකච්ඡාවලදී අවධානය යොමු විය. විශේෂයෙන්, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ කුසලතා සංවර්ධනය සඳහා තවදුරටත් ස්විට්සර්ලන්ත සහය සහ ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
දෙරටෙහිම වත්මන් සංක්‍රමණික ප්රවණතා සහ දේශීය කුසලතා සංවර්ධන රාමුව සංවර්ධනය කිරීම සහ පිළිගැනීම තුළින් ශ්‍රී ලාංකික සේවකයින්ට ඇති අවස්ථා පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගන්නා ලදී. ශ්‍රී ලංකා දූත පිරිසට ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථිර දූත මණ්ඩලයේ නියෝජිතයෝද ඇතුළත් වූහ. ස්විට්සර්ලන්ත දූත පිරිසට සංක්‍රමණ සඳහා වන රාජ්‍ය ලේකම් කාර්යාලය, ෆෙඩරල් පොලිස් කාර්යාලය, ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයෝද ඇතුළත් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 29 වැනි දින



