
ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ලද, 23 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආපදා සහන පිළිබඳ අන්තර් සැසිවාර රැස්වීම, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ සම සභාපතිත්වයෙන් හා ආසියාන් කලාපීය සංසදයේ සාමාජික රටවල් 27 කින් 50 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 2025 ජුනි 05 වැනි දින කොළඹදී පැවැත්විණි.
ආපදා සහන සැපයීමේදී මනාව සම්බන්ධීකරණය කළ හා සූදානම් කරන ලද ප්‍රතිචාරයක වැදගත්කම මෙන්ම ආපදාවල බලපෑම අවම කර තිරසර ප්‍රකෘතිමත් වීම සහතික කිරීම සඳහා ආපදා ප්‍රතිචාර සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම සභාපතිත්වය දරනු ලැබූ ශ්‍රී ලංකාව විසින් අවධාරණය කරනු ලැබිණි. මෙම සංසදය ‘ලෝක පරිසර දිනය’ හා සමගාමීව පැවැත්වූ බැවින්, තිරසර පරිසර ආරක්ෂණ පිළිවෙත්, ජාතික ප්‍රතිපත්ති සහ ආපදා සහන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා වන මුලපිරීම් පිළිපැදීමට ශ්‍රී ලංකාවේ කැපවීම ඉස්මතු කරන ලදී. මෑතකදී මියන්මාරයේ ඇතිවූ භූමිකම්පා ආපදා තත්ත්වයට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන ලද මානුෂීය ආධාර මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් ‘ශ්‍රී ලංකා මානුෂීය ආධාර සහ ආපදා සහන කණ්ඩායම්’ හි ප්‍රධානියා විසින් සහභාගිවන්නන් සමඟ බෙදා ගත්තේය. ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්යක්ෂ ජනරාල් චමරි රොඩ්රිගෝ විසින් දරන ලද අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද එයට සහභාගී වූහ.
හොඳම පිළිවෙත් හුවමාරු කර ගැනීම, ශක්‍යතා ගොඩනැගීමේ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම, කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සහ ආපදා සහන කටයුතුවලදී සිවිල්-හමුදා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම කෙරෙහි මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරුණි.
සංසදයේ තරුණ නියෝජිතයින් විසින් පවත්වන ලද මණ්ඩල සාකච්ඡාවක් මගින් තිරසර පරිසර ආරක්ෂණ උපාය මාර්ග සහ ආපදා සහන අතර සම්බන්ධතාව අවධාරණය කරමින්, අනාගතය සඳහා සූදානම් වීමේ නව දෘෂ්ටිකෝනයක් සපයනු ලැබිණි.
2024 - 2027 ආපදා සහන සඳහා වූ ආසියාන් කලාපීය සංසදයේ වැඩ සැලැස්ම සහ II වන හැනෝයි ක්‍රියාකාරී සැලැස්මෙ හි ප්‍රගතියද රැස්වීමේදී සමාලෝචනය කරන ලදී.
මෙම රැස්වීමට පෙර 2025 ජුනි 04 වැනි දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ලේකම් අරුණි රණරාජා විසින් ආසියාන් කලාපීය සංසදයේ සාමාජික රටවල නියෝජිතයින් පිළිගැනීම සඳහා උත්සවයක් පවත්වනු ලැබු අතරඑයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංස්කෘතික සංදර්ශන ඇතුළත් විය.
ආසියාන් කලාපීය සංසදය යනු ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂක සංවාද සඳහා ආසියාන් ප්රමුඛ යාන්ත්‍රණයක් වන අතර කලාපය තුළ විශ්වාසය ගොඩනැගීමේ පියවර සහ ආරවුල් හා ගැටුම් වැළැක්වීමේ රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායී සංවාද සහ උපදේශන වර්ධනය කිරීම සඳහා වන සංසදයකි. ශ්‍රී ලංකාව 2007 සිට මෙම සංගමයෙහි සාමාජිකයෙකු වන අතර දැනට ආපදා සහන පිළිබඳ අන්තර් සැසි රැස්වීමේ සම-සභාපතිත්වය දරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජුනි 05 වැනි දින





