බැංකොක්හි පැවති 6 වැනි දේශපාලන උපදේශන වටයේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය සිය ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනියි

 බැංකොක්හි පැවති 6 වැනි දේශපාලන උපදේශන වටයේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය සිය ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගනියි

2025 මාර්තු 25 වැනි දින තායිලන්ත රාජධානියේ බැංකොක් නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය 6 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය සාර්ථකව අවසන් කළහ. මෙම රැස්වීමේ සම සභාපතීත්වය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම් එක්සිරි පින්තාරුචි යන මහත්මීන් විසින් දරන ලදී.

උපදේශන අතරතුරදී, දෙරටේ නියෝජිත පිරිස තම රටවල ප්‍රධාන සංවර්ධනයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගත්හ. ජනාධිපතිතුමා විසින් හඳුන්වා දුන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසහටහන මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම්, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකයේ දියුණුව ඇතුළු මෑත කාලීන ජාතික සංවර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් තායිලන්ත දුත පිරිස දැනුවත් කෙරිණ.

කාලෝචිත උපදේශන සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම හඳුනාගනිමින්, මෙම උපදේශනයන්  ද්විපාර්ශ්වික සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කිරීමටත්, පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග හඳුනා ගැනීමට සහ සම්බන්ධ වීම සඳහා නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් විශිෂ්ට අවස්ථාවක් ලබා දුන් බව දෙපාර්ශ්වයම සඳහන් කළහ. බැංකොක්හි පැවති සාකච්ඡා මඟින් දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික, සංචාරක සහ අනෙකුත් ක්ෂේත්‍ර ඇතුළත් වන පරිදි   පුළුල් පරාසයක අංශ ආවරණය කෙරිණ.

ආර්ථික කරුණු පිළිබඳ සාකච්ඡා අතරතුරදී, විදේශ කටයුතු ලේකම් රණරාජා මහත්මිය තායි ආයෝජන පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු ඒ සඳහා සුදුසු පරිසරය පිළිබඳව සඳහන් කළ අතර, දෙරට අතර වර්ධනය වන ආර්ථික හවුල්කාරිත්වය අවධාරණය කළාය. ආයෝජන සහ වෙළඳාමේ ආර්ථික සම්බන්ධතාවය ඉහළ නැංවීමේ අවස්ථා දෙපාර්ශ්වයම ගවේෂණය කළහ. ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ කරුණු සහ ආයෝජන, යටිතල පහසුකම්, කෘෂිකාර්මික කර්මාන්ත, ධීවර, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය සේවා, ඇසුරුම්කරණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වැනි හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල සහයෝගීතාව කෙරෙහි ඔවුහු අවධානය යොමු කළහ.

අයෝරා, බිම්ස්ටෙක්, ආසියාන්, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සහ ආසියානු සහයෝගිතා සංවාදය වැනි කලාපීය රාමු තුලින් සහයෝගීතාවයේ වැදගත්කම නැවත තහවුරු කරමින්, දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ. කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතා රාමුව තුළ දෙරටේ හවුල්කාරිත්වය දෙපාර්ශ්වයම අගය කළ අතර කලාපීය සහ ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ කැපවීම නැවත අවධාරණය කළහ. තායිලන්ත සභාපතිත්වය යටතේ 2025 අප්‍රේල් මස මුලදී බැංකොක්හි පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව සහ ඒ ආශ්‍රිත අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් මෙන්ම  බිම්ස්ටෙක් තරුණ සංසදයේ සත්කාරකත්වය වෙනුවෙන් ලේකම් රණරාජා මහත්මිය සිය සුබ පැතුම් එක් කළාය.

මෙම වසරේ යෙදී ඇති ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි  සංවත්සරය, බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තායි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද දැනුම බෙදා ගැනීමේ සම්මන්ත්‍රණ මාලාවක්, ලාංඡන තරඟයක් සහ සමරු තැපැල් පෙට්ටි නිර්මාණයක් වැනි වැඩසටහන් තුළින් දෙරට විසින් සමරනු ලැබීමට අපේක්ෂිතය. රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වූ ලාංඡන තරඟයේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානෝත්සවය ද උපදේශන අතරතුරදී පැවැත්විණි. සංස්කෘතික අවබෝධතා ගිවිසුම නැවත අලුත් කිරීම සහ සංචාරක සහයෝගීතා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඇතුළුව පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵල පිළිබඳව පසු විපරම් කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ.

ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල මීළඟ වටය අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනයකදී ශ්‍රී ලංකාව විසින් පවත්වනු ලැබේ.

අධ්‍යක්ෂ ජනරාල් සසිරිත් තන්ගුල්රත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වනලී ලොහ්පෙච්රා, අධ්‍යක්ෂ කසෙම්සන් තොංසිරි, අමාත්‍ය උපදේශක නරීටා සුප්‍රඩිස්ට්, උපදේශක ෆොන්ග්පොබ් මෙතකුල්ලාවත් සහ දුත මණ්ඩල ප්‍රධානී ෆුරිටාට් පෙන්ග්යෝක් යන මහත්ම මහත්මීන් තායි දූත පිරිසට ඇතුළත් වූහ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ, අධ්‍යක්ෂ (අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියාව) තිලිනි ඉහළගේ, වැඩබලන වාණිජ අධ්‍යක්ෂ චන්දිමා කිරිවන්දල, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි ප්‍රධානී ඒ.ඩබ්ලිව්.එස්. සමන්මලී සහ උපදේශක (වාණිජ) විරේෂිකා බණ්ඩාර යන මහත්මීන් ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වූහ.

උපදේශන අතරතුරදී, ලේකම් රණරාජා මහත්මිය තායිලන්තයේ විදේශ කටයුතු උප අමාත්‍ය ආචාර්ය ලලිවන් කර්ංචනාචාරි මහත්මිය සමඟ සුහද හමුවක් පැවැත්වූවාය. ඔවුන්ගේ සාකච්ඡාවල අවධානය සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම, සහයෝගීතාවයේ නව මාර්ග ගවේෂණය කිරීම සහ ථෙරවාදී බුදුදහමේ මුල් බැසගත් දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි යොමු විය.

රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ කැපවීම නැවත තහවුරු කරමින් පැවති 6 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වර්ධනය වන හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 මාර්තු 27 වැනි දින

Please follow and like us:

Close