2025 පෙබරවාරි 25 වැනි දින පැවැති නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ඉහළ මට්ටමේ රැස්වීම අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු එච්.එම්. විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය

2025 පෙබරවාරි 25 වැනි දින පැවැති නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ඉහළ මට්ටමේ රැස්වීම අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු එච්.එම්. විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය

2025 පෙබරවාරි 25 වැනි දින පැවැති නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ඉහළ මට්ටමේ රැස්වීම අමතමින්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

ගරු එච්.එම්. විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය

ගරු සභාපතිතුමියනි

අතිගරුවරුනි

සම්භාවනීය නියෝජිතයිනි

පළමුවෙන්ම, නිරායුධකරණය පිළිබඳ සමුළුවේ සභාපතිත්වයට පත්වීම පිළිබඳව ජපානයේ තානාපති සහ නිත්‍ය නියෝජිත අතිගරු ඉචිකාවා ටොමිකෝ මැතිනියට මම සුබ පතමි. නිරායුධකරණය පිළිබඳ සමුළුවේ සාර්ථකත්වය සඳහා මගේ රටේ පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලබා දෙන බවට ඔබට සහතික කිරීමට කැමැත්තෙමි. මෙම වසරේ නිරායුධකරණය පිළිබඳ සමුළුවේ පළමු සභාපති ලෙස ක්‍රියා කළ ඉතාලියටද මෙම වසරේ ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරී වැඩසටහන අනුගමනය කිරීමට සහ පදනම සැකසීමට නායකත්වය දීම පිළිබඳව මම අවංකවම ස්තූතිවන්ත වෙමි. 2025 සඳහා සභාපතිත්වයට පත්වීමට නියමිත කසකස්තානය, කෙන්යාව, මැලේසියාව සහ මෙක්සිකෝව සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය නැවත අවධාරණය කරන අතර නිරායුධකරණය පිළිබඳ සමුළුව දශක දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ මුහුණදුන් අවහිරතා ඉවත් කරගනිමින් එහි වැදගත් කටයුතු නැවත ආරම්භ කිරීමට එම රාජ්‍යයන් වලට හැකිවේවායි මම ප්‍රර්ථනා කරමි.

ගරු සභාපතිතුමියනි,

ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල අවදානමකට ලක්ව ඇති මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකට අප එළැඹ සිටියි. නිසැකවම, අපගේ වර්ථමාන ක්‍රියාවන් හෙට දවසේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය තීරණය කරනු ඇත. උත්සන්න වන භූ දේශපාලනික මතභේදයන් සහ බහුපාර්ශ්වික පද්ධතිය කෙරෙහි විශ්වාසය පළුදු වෙමින් පවතින පසුබිමක, අනාගත පරම්පරාවන් සඳහා ආරක්ෂිත ලෝකයක් සහතික කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික ක්‍රියාවලීන් කෙරෙහි විශ්වාසය යථා තත්ත්වයට පත් කිරීමට අප එකට එක්විය යුතුය.

ගරු සභාපතිතුමියනි,

ශ්‍රී ලංකාවේ නිරායුධකරණ දැක්ම, මානව වර්ගයාගේ යහපත උදෙසා ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපගේ දූරදර්ශීභාවය, නොසැලෙන කැපවීම සහ දායකත්වය පිළිබඳ සාක්ෂියකි.

ශ්‍රී ලංකාව මෑතකදී, එනම් 2023දී න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ඇතුළත් වීම සහ විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම අනුමත කිරීම, 1960 සිට පැවත එන න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා අපගේ දිගුකාලීන කැපවීම සහ ඒ සඳහා දක්වන අනුබලය තවදුරටත් පෙන්නුම් කරයි.

න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහි එකම සහතිකය සම්පූර්ණයෙන් තුරන් කිරීම සහ ප්‍රගුණනය නොකිරීම බව සඳහන් කරන අතරම, න්‍යෂ්ටික අවි නොමැති රාජ්‍යයන් කොන්දේසි විරහිත, වෙනස් කොට සැලකීම් නොකරන සහ නීත්‍යානුකූලව බැඳී ඇති සෘණ ආරක්ෂක සහතික ලබා ගැනීමේ නීත්‍යානුකූල අපේක්ෂාව නිරායුධකරණය පිළිබඳ සමුළුවේ කටයුතු හරහා සහතික කළ යුතු බව ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි.

1964 දී කයිරෝවේ පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ගෝලීය “න්‍යෂ්ටික අවි රහිත කලාප” පිහිටුවීමට පක්ෂව නිකුත් කරන ලද ප්‍රකාශයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් දින සිට, ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි රහිත කලාප සඳහා පුරෝගාමී ආධාරකරුවෙකු ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන් මැද පෙරදිග න්‍යෂ්ටික අවි රහිත කලාප පිහිටුවීම සබන්ධයෙන් ප්‍රත්‍යක්ෂ ඉදිරි ක්‍රියාමාර්ග දැකගැනීමට අපි බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකාව ප්‍රධාන මානුෂීය නිරායුධකරණ ගිවිසුම්වල ක්‍රියාකාරී හවුල්කරුවෙකු වන අතර, විශේෂයෙන් පුද්ගල විරෝධී බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය ඇතුළුව, වින්දිත ආධාර කමිටුවේ මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ කේන්ද්‍රස්ථානයේ වත්මන් සාමාජිකයෙකු වන අතර, 2019 දී සභාපතිත්වය දැරූ පොකුරු බෝම්බ සම්මුතියේ ද සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරයි.

ගරු සභාපතිතුමියනි,

වර්තමානය වන විට, ගෝලීය නිරායුධකරණ ක්ෂේත්‍රය අවි පද්ධතිවල කෘතිම බුද්ධිය යෙදීම ඇතුළු තාක්ෂණයේ වේගවත් සංවර්ධනය හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සිටියි. ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම ආරක්ෂා කිරීම ලෝක සාමයේ සහ ස්ථාවරත්වයේ මූලිකත්වයක් ලෙස සළකන අපගේ ස්ථාවරයට අනුකූලව, මාරාන්තික ස්වයංක්‍රීය අවි පද්ධති තහනම් කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති සම්මුතියක් පිළිබඳ සාකච්ඡා ඉක්මනින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සහාය දක්වයි. ඒ අනුව, 2023 දී අතිමහත් බහුතරයක් විසින් සම්මත කරන ලද මාරාන්තික ස්වයංක්‍රීය අවි පද්ධති තහනම් කිරීම සඳහා පිළිබඳ පළමු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ පළමු කමිටු යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු බවට ශ්‍රී ලංකාව පත්විය.

එමෙන්ම, වාණිජ හා මිලිටරි ක්‍රියාකාරකම් අතර මතභේදයන් ඇති කරන අභ්‍යවකාශ තාක්ෂණයේ වේගවත් සංවර්ධනය හේතුවෙන් අභ්‍යවකාශයේ සාමයට ඇති වන තර්ජන ගැන කනස්සල්ලෙන් සඳහන් කරන අතරම, අභ්‍යවකාශයේ අවි තරඟයක් වැළැක්වීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති සම්මුතියක් පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දක්වා ඇති අතර එම ඉලක්කය කරා ළඟා වීමට ක්‍රියාකාරීව සම්බන්ධ වනු ඇත.

ගරු සභාපතිතුමියනි,

බහුපාර්ශ්වික නිරායුධකරණ සාකච්ඡා සංසදයක් ලෙස නිරායුධකරණය පිළිබඳ සමුළුවේ වරම සිහිපත් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන අතර, සියලු ජාතීන් එක්ව සාමූහික පුළුල් සංවාදයක්,  විශ්වාසය සහ විනිවිදභාවය ගොඩනැගීම තුළින්, සැලකිය යුතු ප්‍රතිලාභ ලබා ගැනීමට බාධා එල්ල කරන වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාව නැවත අවධාරණය කරයි.

අභ්‍යවකාශයේ අවි තරඟයක් වැළැක්වීම සඳහා යාවත්කාලීන උපාය මාර්ග සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඉල්ලීමට අනුකූලව, දියුණු තාක්ෂණයන් සහ ස්වයංක්‍රීය අවි පද්ධති මගින් එල්ල වන අභියෝග ආමන්ත්‍රණය කිරීම සහ අනාගතය සඳහා වන ගිවිසුමේ දක්වා ඇති පරිදි න්‍යෂ්ටික අවි තුරන් කිරීම සහ ප්‍රගුණනය නොකිරීම සඳහා කැපවීම් නැවත පණ ගැන්වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නව බහුපාර්ශ්විකත්වය සඳහා වන අවශ්‍යතාව ශ්‍රී ලංකාව නැවත අවධාරණය කරයි.

ගරු සභාපතිතුමියනි,

බෙදීම් සහ වැළැක්වීම් වලට එරෙහිව නැගී සිටීමටත්, නිරායුධකරණ න්‍යාය පත්‍රය හරහා ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා වන අපගේ පොදු දැක්ම නිර්වචනය කිරීමටත්, මානව වර්ගයා කෙරෙහි අපගේ සාමූහික වගකීමට ගරු කිරීමටත් කාලය පැමිණ තිබේ.

අවසාන වශයෙන්, මෙම ඉලක්කය අභිලාෂයක් පමණක් නොව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සියලු ජාතීන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව මම නැවත අවධාරණය කරමි.

ස්තූතියි.

 

Please follow and like us:

Close