විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ පැවැති 26 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම අමතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ පැවැති 26 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම අමතයි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සත්කාරකත්වය දරන ලද 26 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම 2025 ජනවාරි 22 සිට 25 වැනි දින දක්වා ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය සම සභාපතිත්වය දැරූ මෙම උත්සවයට කලාපය පුරා පිහිටි ආරක්ෂක විශ්වවිද්‍යාලවල ප්‍රධානීහු සහභාගී වූහ. සාමාජික රටවල් අතර ආරක්ෂක සහ ආරක්ෂණ ගැටලු පිළිබඳ සංවාදය, අධ්‍යයන හුවමාරුව සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා 26 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම, තීරණාත්මක වේදිකාවක් ලෙස කටයුතු කරයි.

ජනවාරි 24 වැනි දින පැවැති රැස්වීමේ ප්‍රධාන දේශනය පවත්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ආසියාන් සංවිධානය සමඟ ඇති සම්බන්ධතාව ශක්තිමත් කිරීමට සහ ආසියා-පැසිෆික් කලාපය මුහුණ දෙන පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දක්වන තිර කැපවීම අවධාරණය කළේය. ඉන්දියානු සාගරය තුළ රටේ උපායමාර්ගික පිහිටීම ගැන සඳහන් කරමින්, මධ්‍යස්ථභාවය සහ නොබැඳි පිළිවෙත සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම සහ කලාපීය සාමය සහ ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙන හවුල්කාරිත්ව අනුගමනය කිරීම පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළේය.

සයිබර් ගැටුම්, දෙමුහුන් ගැටුම් සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත මෙහෙයුම් වැනි නවීන තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක අධ්‍යාපනය පරිණාමය වීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා අවධාරණය කළේය. කලාපයේ ආරක්ෂක ආයතනවල සිදු කෙරෙන පර්යේෂණ වැඩි දියුණු කිරීම සහ හොඳම භාවිතයන් බෙදා ගැනීම සඳහා ආරක්ෂක ආයතන අතර සහයෝගීතා ජාල ස්ථාපිත කළ යුතු බවත්, සාමාජික රටවල් අතර ශක්තිමත් සබඳතා වර්ධනය කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.

ගෝලීය සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කරමින්, 1958 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා 25,000 කට අධික පිරිසක් දායක කිරීම පිළිබඳව අමාත්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය විරෝධී, ජාවාරම් විරෝධී සහ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් සඳහා දායක වීමෙන් ඒකාබද්ධ සමුද්‍ර හමුදාවට (CMF) සහභාගී වීම් ඇතුළුව කලාපීය සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම්වලදී රටෙහි ක්‍රියාකාරී භූමිකාව ඔහු ඉස්මතු කළේය.

ආසියාන් කලාපීය සංසදයේ මුලපිරීම් හරහා කලාපීය ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව අමාත්‍යවරයා සුබවාදී හැඟීමක් පළ කළ අතර, නැගී එන ආරක්ෂක අභියෝග පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යෑම සහ ආසියා-පැසිෆික් කලාපය සඳහා ඒකාබද්ධ ආරක්ෂක අධ්‍යාපන රාමුවක් ස්ථාපිත කිරීම සඳහා මෙම රැස්වීමේ කාර්යභාරය අගය කළේය.

ශ්‍රී ලංකාව, ආසියාන් කලාපීය සංසදයේ ක්‍රියාකාරකම්වල ක්‍රියාකාරීව නිරත වන අතර, ප්‍රගුණනය වැළැක්වීම, නිරායුධකරණය සහ ආපදා සහන යන ක්ෂේත්‍රවල ආසියාන් කලාපීය සංසදයේ රැස්වීම්වල සත්කාරකත්වය සහ සම-සභාපතිත්වය දරා ඇත. ආසියාන් කලාපීය සංසදය යනු ආසියා-පැසිෆික් කලාපයේ ආරක්ෂක සංවාද සඳහා වැදගත්, ආසියන් සංවිධානය විසින් මෙහෙයවෙන ප්‍රමුඛ යාන්ත්‍රණයක් වන අතර ශ්‍රී ලංකාව 2007 වසරේ සිට ආසියාන් කලාපීය සංසදයෙහි  සාමාජිකයෙකි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 ජනවාරි 25 වැනි දින

 

Please follow and like us:

Close