දෙරට අතර දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව හා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා නිරතවූ චීන මහජන සමූහාණ්ඩු රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කළේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් ජනාධිපති දිසානායක මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත විය.
2025 ජනවාරි 15 වැනි දින මහජන මහා ශාලාවේදී ජනාධිපති ෂී මහතා විසින් ජනාධිපති දිසානායක මහතා පිළිගනු ලැබූ අතර එහිදී ඔහුට චාරිත්‍රානුකූල ගෞරව හමුදා ආචාර සම්මාන මුරයක්ද පිරිනැමිණි. ආර්ථික හා වෙළෙඳ සංවර්ධනය, ආයෝජන, සංචාරක, ඩිජිටල් පරිවර්තනය සහ බහුපාර්ශ්වික සංසදවල සහයෝගිතාව ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර පිළිබඳව ජනාධිපතිවරු දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ. ස්වෛරී සමානාත්මතාව සහ සාමකාමී සහජීවනය මත පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීම කෙරෙහි තමන් සතු කැපවීම නායකයෝ දෙදෙනාම නැවත තහවුරු කළහ.
සාකච්ඡාවලින් අනතුරුව, ජනාධිපති දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති ෂී මහතා විසින් රාජ්‍ය භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නියැළෙන ලෙස ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී මහතාට ඇරයුම් කළේය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් චීන අගමැති ලී චියැං මහතා සංවර්ධන සහයෝගිතාව, වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කළේය. ජනාධිපති දිසානායක මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලෙජි මහතාද හමුවී සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය.
රාජ්‍ය සංචාරය අතරතුරදී, දෙපාර්ශ්වය විසින් අවබෝධතා ගිවිසුම් 15ක් හුවමාරු කර ගන්නා ලදී. ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සඳහා චීන රජයෙන් ලැබුණු යුවාන් මිලියන 500ක ප්රදානය, ආයෝජන සහ ආර්ථික සහයෝගිතා ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීම, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ ප්‍රවේශය, මාධ්‍ය සහ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ සහයෝගිතාව මෙම ගිවිසුම් අතර වේ. ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක වටිනාකමින් යුතු අපනයන කේන්ද්‍රීය ඛනිජ තෙල් පිරිපහදුවක් හම්බන්තොට පිහිටුවීම සඳහා සිනොපෙක් සමාගම සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක්ද අත්සන් කෙරිණි.
චීන රාජ්‍ය ව්‍යවසායන් සහ සමාගම්වල ඉහළ පෙළේ නියෝජිතයින් සහභාගීවූ "ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න" යන මැයෙන් යුත් වටමේස සාකච්ඡාවටද ජනාධිපති දිසානායක මහතා සහභාගි විය. ආයෝජන සංසදය ඇමතූ ජනාධිපති දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවන පුළුල් දැක්ම ඉස්මතු කළ අතර ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ව්‍යාපාරික ප්‍රජාව උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව සඳහන් කළේය. සංසදයට සහභාගී වූ ප්රමුඛ පෙළේ චීන රාජ්‍ය ව්‍යවසායක සමාගම්, නව ආයෝජන ගෙන ඒමටත් ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන ව්‍යාපෘති පුළුල් කිරීමටත් තමන් දක්වන උනන්දුව ප්‍රකාශ කළහ.
ජනාධිපති දිසානායක මහතා මහජන වීරයන්ගේ ස්මාරකය වෙත උපහාර දැක්වූ අතර, ඉන් අනතුරුව සභාපති මාඕ සේතුං මැතිතුමාගේ අනුස්මරණ ශාලාවටද ගියේය.
නිරිතදිග චීනයේ විශාලතම නගරය වන චෙන්ග්ඩුහිදී, දරිද්‍රතාවය පිටුදැකීම අරමුණ කරගත් ආදර්ශ ගම්මානයක් වන ෂාන් කි වෙත ගිය ජනාධිපති දිසානායක මහතා, නිසි භාවිතයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තේය. ජනාධිපතිවරයා චෙන්ග්ඩු ජාතික කෘෂිකර්ම හා විද්‍යා මධ්‍යස්ථානයටද ගිය අතර සිචුවාන් පළාත් පක්ෂ ලේකම් වැන්ග් ෂියාඕහුයි මහතාද හමුවිය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය යන මහත්ම මහත්මීන් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද ජනාධිපති දිසානායක මහතා සමඟ මෙම චීන නිල සංචාරය සඳහා සම්බන්ධ වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජනවාරි 17 වැනිදා