ඔක්තෝබර් 24 වැනි දින රුසියාවේ කසාන් නුවර පැවැති බ්‍රික්ස් සංවාදයට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.
රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් 16 වැනි බ්‍රික්ස් සමුළුවෙහි සභාපතිත්වය දරනු ලැබූ අතර එයට රාජ්‍ය නායකයින් 35දෙනකු (හෝ ඔවුන්ගේ නියෝජිතයින්) ඇතුළුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද සහභාගි විය. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් වේ. බ්‍රසීලය 2025දී බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය ලබා ගනු ඇත.
කසාන් ප්‍රකාශය සම්මත කර ගනිමින් සමුළුව අවසන් විය. සමුළුව, ගෝලීය දකුණේ රටවල් බ්‍රික්ස් සංවිධානය කෙරෙහි දක්වන සැලකිය යුතු උනන්දුව පිළිගනු ලැබූ අතර බ්‍රික්ස් සංවිධානයේ 'හවුල්කාරිත්වය' ක්‍රමානුකූලව දීර්ඝ කිරීම ප්‍රයෝජනවත් බව විශ්වාස කළේය.
බ්‍රික්ස් සංවාදය අමතමින් විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය බ්‍රික්ස් සංවිධානය සහ නව සංවර්ධන බැංකුව සමඟ සම්බන්ධ වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂය නැවත අවධාරණය කළාය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය වර්තමාන ලෝකය තුළ බ්‍රික්ස් සංවිධානයේ අදාළත්වය, ශ්‍රී ලංකාව සඳහා බ්‍රික්ස් සාමාජිකත්වයේ වැදගත්කම මෙන්ම බ්‍රික්ස් සංවිධානය වෙත ශ්‍රී ලංකාව දක්වන දායකත්වයද සඳහන් කළාය.
බ්‍රික්ස් සමුළුවට සමගාමීව, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය සර්ජි රයියාබ්කෆ්, ඊජිප්තුවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය රගී එලෙත්‍රේබී, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොමියුනිස්ට් පක්ෂයේ කමිටු සාමාජික සහ විධායක උප අමාත්‍ය මා සාඕෂූ යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වූවාය. මෙම රැස්වීම්වලදී, බ්‍රික්ස් සංවිධානයසහ නව සංවර්ධන බැංකුව කෙරෙහි ශ්‍රී ලංකාවදක්වන උනන්දුව පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ උනන්දුව අගය කෙරිණි.
විදේශ කටයුතු ලේකම්වරිය නව සංවර්ධන බැංකුවේ සභාපති ඩිල්මා රූසෙෆ් මහත්මියද හමුවූවාය.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දූත මණ්ඩල ප්‍රධානී පී.එම්.අම්සා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ.යෝගනාදන් යන මහත්වරු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට එක්ව සිටියහ.
විදේශ කටයුතු ලේකම්වරියගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 ඔක්තෝබර් 26 වැනි දින
..........................................
2024 ඔක්තෝබර් 24 වැනි දින කසාන්හි පැවැති බ්‍රික්ස් සමුළුව අමතා
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සිදුකළ ප්‍රකාශය
සම්පූර්ණ ප්‍රකාශය
රුසියානු සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති සහ බ්‍රික්ස් සංවිධානයෙහි සභාපති ව්ලැඩිමීර් පුටින් මහතාණෙනි,
දහසය වැනි බ්‍රික්ස් සමුළුවේ සභාපතිවරයා ලෙස මෙම බ්‍රික්ස් සංවාදයේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අතිගරු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට සුබ පතයි.
පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම්ද මේ සමඟ පළ කරමි. ශ්‍රී ලංකාවට කරන ලද මෙම ආරාධනය පිළිබඳව අතිගරු ජනාධිපති අනුර දිසානායක මහතා ඔබ වෙත සිය කෘතඥතාව පළ කරයි.
ශ්‍රී ලංකාව, බ්‍රික්ස් සංවිධානයේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය අයැදුම් කිරීම අපගේ ගෝලීය ව්‍යාප්තියේ වැදගත් අංගයකි.
අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව, සංවර්ධනය සහ ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනැගීම සඳහා වන අපගේ සාමූහික අභිලාෂය සාක්ෂාත් කර ගැනීමෙහිලා බ්‍රික්ස් සංවිධානය ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස ශ්‍රී ලංකාව සලකයි. සමූහයේ පවතින විවිධත්වය සහ ශ්‍රී ලංකාවද ඇතුළත්ව එහි පුළුල් වන සාමාජික අපේක්ෂක ලැයිස්තුව, වර්තමාන ලෝකය තුළ බ්‍රික්ස් සංවිධානයෙහි අදාළත්වය ඉස්මතු කරයි. මෙම සමුළුව, හවුල්කාරිත්වය හරහා බ්‍රික්ස් සංවිධානයේ ව්‍යාප්තිය පිළිබඳව ඉදිරි දැක්මක් සහිතව ප්‍රවේශ වී තිබීම පිළිබඳව අපි සතුටු වෙමු.
සහයෝගීතාව, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ බහුපාර්ශ්විකත්වය තුළින් වඩාත් අපක්ෂපාතී සහ සාධාරණ ලෝකයක් සඳහා ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයෙහි අපේක්ෂාවන් බෙදා ගනියි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව තුළ ජාත්‍යන්තර නීතිය අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරමින් ජාත්‍යන්තර තීරණ ගැනීමේදී ගෝලීය දකුණට අවස්ථාව සහ නායකත්වය ලබා දීමට බ්‍රික්ස් සංවිධානය අපේක්ෂා කරයි. භේදයකින් තොර සමානාත්මතාවෙන් සහ යුක්තිය පෙරදැරි කොටගත් වර්ධනයට ප්‍රමුඛත්වය දෙන සදාචාරාත්මක පාලනයක් උදෙසා වන ශ්‍රී ලංකා රජයේ අරමුණු සමඟ මෙය සමපාත වේ.
බ්‍රික්ස් සංවිධානය විසින් අවධාරණය කරන ලද පරිදි, ගෝලීය මූල්‍ය ව්‍යුහය ඇතුළු ගෝලීය පාලන ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව වැදගත් ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස අපි සලකමු.
අප බෙහෙවින් අගය කරන රාමුවක් වන බහුපාර්ශ්විකත්වයේ ව්‍යුහයන්තුළ සියලු විශාල සහ කුඩා රාජ්‍යයන්ටද හිමි විය යුතු ස්වෛරී සමානාත්මතාවේ වටිනා මූලධර්මය පිළිගනු ලැබීම, ස්වෛරී රාජ්‍යයන් තුළ සිදුවෙමින් පවතින පරිවර්තනයන් තුළින් පිළිබිඹු විය යුතුය.
ජාත්‍යන්තර ප්‍රජාවේ වත්මන් සංයුතිය සහ ප්‍රමුඛතා සහ පසුගිය සියවසේ ස්ථාපිත එහි බහුපාර්ශ්වික ආයතනික ව්‍යුහයන් අතර නොගැලපීමක් පවතී.
මෙම ව්‍යුහයන් පිහිටුවන ලද්දේ වසංගත, දේශගුණික විපර්යාස, ස්වෛරී ණය, සයිබර් අවකාශය, කෘතිම බුද්ධිය, ගෝලීයකරණය වූ මූල්‍ය ගනුදෙනු සහ නවීන සැපයුම් දාමයන් නොමැති ලෝකයක් තුළය. එකල ගෝලීය දකුණේ සාමූහික මත පැවතියේ නැත.
භූ දේශපාලනික සහ භූ ආර්ථීක එදිරිවාදිකම්වලින් වෙළී ඇති ලෝකයේ වර්තමාන තත්ත්වය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ; සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය ඵලදායී ලෙස පවත්වා ගෙන යාමට සහ අනාගතයේ මූල්‍ය, දේශගුණය, බලශක්ති, තාක්ෂණික සහ ඩිජිටල් අභියෝගවලට මුහුණ දීමට නම් මෙම ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි.
ජාත්‍යන්තර ප්‍රජාවේ සංයුතිය හා ස්වභාවයද මෙ වන විට වෙනස් වී ඇත. වර්තමානයේ මෙහි පැමිණ සිටින බ්‍රික්ස් සංවිධානයෙහි වත්මන් සහ අනාගත සාමාජිකයින්ගෙන් ඇතැම් රටවල් මේ වන විටත් නැතහොත් දැනටමත්, නැගී එන බහුධ්‍රැව ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික, තාක්ෂණික සහ දේශපාලන බලවතුන් අතර සිටිති. මෙම ව්‍යුහයන් පිහිටුවන විට එම රටවල් ස්වෛරී ස්වාධීන රාජ්‍යයන්නොවූහ.
පැහැදිලිවම මෙම ව්‍යුහයන් සමකාලීන අරමුණු සඳහා මෙන්ම නියෝජිත, නීත්‍යනුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සකස් කළ යුතුය.
නිදසුනක් වශයෙන්, මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස, පශ්චාත් වසංගත ස්වෛරී ණය අයකර ගැනීම් මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අත්දැකීම් මිලියන සිය ගණනකගේ ජීවිතවලට බලපෑම් කෙරෙන ණය අර්බුදවල සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය ආරක්ෂණ ජාලයක් සහ ඉදිරි මාවතක් සැපයීම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව පසක් කරවයි.
පොදු භාණ්ඩ, සමාජ යටිතල පහසුකම් සහ මානව සංවර්ධනය සඳහා වන ආයෝජනවලට වඩා ණය සේවා ගෙවීම් ප්‍රමුඛත්වය ගත යුතු විට තිරසාර සංවර්ධනය, සමාජ ඇතුළත් කිරීම සහ බලශක්ති සංක්‍රමණය ඉදිරියට ගෙන යාම සඳහා බහුපාර්ශ්වික උත්සාහයන් සාක්ෂාත් කරගත නොහැක. දත්තවලට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක් අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වඩා ණය පොලී ගෙවීම සඳහා වැඩි මුදලක් වැය කරති.
ගෝලීය දකුණු ආර්ථිකයන්හි තිරසාර හා තීරණාත්මක වැදගත් භෞතික හා සමාජ යටිතල පහසුකම් සඳහා වන ව්‍යාපෘති උදෙසා මූල්‍යකරණය කිරීමේදී මතුවන යම් යම් හිඩැස් ආමන්ත්‍රණය කිරීමට නව සංවර්ධන බැංකුව වැනි මුලපිරීම්වලට හැකියාව ඇති බව අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාව,නව සංවර්ධන බැංකුවෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන ඇයැදුම ඉදිරියට ගෙන යාමට අදහස් කරයි.
මෙම සන්දර්භය තුළ, වර්ධනය වැඩි දියුණු කිරීමට සහ අපගේ ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ජනනය කිරීම සඳහා වෙළඳාම, ආයෝජන, ආර්ථික හවුල්කාරිත්වය සහ අන්තර් මිනිස් සම්බන්ධතා පුළුල් කිරීමට බ්‍රික්ස් සංවිධානයේ නායකයින් ප්‍රමුඛත්වය ලබා දී ඇත.
ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික පාලනය, දූරදර්ශී මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ වෙළෙඳ ව්‍යාප්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, 2024 වර්ෂය සඳහා ඉහළ සංශෝධිත වර්ධන වේගයක් සමඟින් අපි වේගවත් ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගෙන ඇත්තෙමු. අපි දැන් බ්‍රික්ස් වැනි අනෙකුත් නැගී එන වෙළෙඳපොල ආර්ථිකයන් සමඟ එක්ව අන්‍යෝන්‍ය විභව සහයෝගීතාව පුළුල් කිරීමට අපේක්ෂා කරමු.
දැඩි ආර්ථික හා ණය අර්බුදයකින් අනතුරුව, බාහිර ආරක්ෂණවිධි ක්‍රමයෙන් නැවත ගොඩනගමින්, ස්ථාවර වෙමින් සිටින අපි, අන්‍යෝන්‍ය වෙළඳාම වැඩිදියුණු කිරීම සඳහා සහ එයට අදාළ බාධා මඟහරවා ගැනීම සඳහා ජාතික මුදල්, පරිපූරක මූල්‍ය විධිවිධාන සහ ගෙවීම් පද්ධති භාවිතය සඳහා බ්‍රික්ස් සංවිධානය සතු හැකියාවට සහාය වන්නෙමු.
කාර්යබහුලම නැගෙනහිර-බටහිර සන්නිවේදන මාර්ග ක්‍රියාත්මක වන ඉන්දියානු සාගරයේ මධ්‍යයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සමුද්‍ර පිහිටීම සහ එහි ඩිජිටල් සහ මානව සම්පත් යටිතල පහසුකම් බ්‍රික්ස් සංවිධානයට සුවිශේෂී අගය එකතු කිරීමක් වනු ඇත. ප්‍රධාන සාගර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස රට ස්ථානගත වී ඇති අතර සමුද්‍ර ආර්ථිකයක් සඳහා ලෝක මට්ටමේ වරාය සහ ප්‍රති නැව්ගත කිරීමේ පහසුකම් ඇතුළු වටිනා සමුද්‍රීය යටිතල පහසුකම් සපයයි. අපි සමුද්‍ර ආරක්‍ෂාව සහ ආරක්ෂණය, සමුද්‍ර සංරක්ෂණය සහ නාවික නිදහස ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික සාගර හවුල්කරුවෙක් වන්නෙමු.
ගරු සභාපතිතුමනි,
ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන්, බහු කලාපීය සහ ජාත්‍යාන්තර වේදිකාවල අඛණ්ඩව පවතින විවෘත ගැටුම් තත්ත්වයන් පිළිබඳව කසාන් ප්‍රකාශය අවධානය යොමු කරයි. රාජ්‍යතාන්ත්‍රිකභාවය, නිරායුධකරණය, සාකච්ඡා සහ අර්බුද සාමකාමීව විසඳා ගැනීම වෙනුවට ගැටුම් උත්සන්න කිරීම සහ දැවැන්ත මානුෂීය අර්බුද ඇති කරන අවි ආයුධ සඳහා විශාල හා අනවශ්‍ය වියදම් සිදු කිරීම නොකළ යුතුය.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන අතර, සියලු රාජ්‍යයන්ගේ නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ විශ්වීය වශයෙන් එකඟවූ රාමුව තුළ විසඳුම් අවශ්‍ය බව අවධාරණය කරයි. තෝරා ගැනීම්, දේශපාලනීකරණය සහ ද්විත්ව ප්‍රමිතීන් වලින් තොරවූ ජාත්‍යන්තර නීතිය අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක කිරීමට අපි සහය දෙන්නෙමු.
ගාසා තීරයේ දරුණු මානුෂීය ගැටුම් අවසන් කරමින් සටන් විරාමයක් සහතික කළ යුතු බවත්,ද්වි-රාජ්‍ය විසඳුම් රාමුවක් තුළ පලස්තීනයේ ජනතාව සඳහා සාධාරණ සහ කල්පවත්නා විසඳුමක් සාක්ෂාත් කරගැනීමේ අවශ්‍යතාවත් අවධාරණය කෙරෙන කසාන් ප්‍රකාශය සමඟ අපි එකඟවන්නෙමු. ලෙබනනය ඇතුළු කලාපීය ගැටුම්කාරී තත්ත්වයන් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට අප වගබලාගත යුතුය.
අතිගරු ජනාධිපති පුටින් මැතිතුමණි,
අවසානයේදී අපගේ ජන ජීවිතයට බලපාන ගෝලීය තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි කොටස්කරුවෙකු වීමට ලබාදෙන අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානය සලකයි. කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාව දක්වන දායකත්වය, සියලුම රාජ්‍යයන් සමඟ අප ඇතිකරගත් මිත්‍ර සබඳතා, පුද්ගලික අංශය ඇතුළුව වෙළඳාම, සංචාරක, ආයෝජන සහ ආර්ථික කටයුතු සඳහා අප දක්වන විවෘතභාවය, සමුද්‍රීය, ගුවන් සහ ඩිජිටල් යටිතල පහසුකම් තුළින් ලෝකය සමඟ අප ඇතිකරගත් සබඳතා සහ ඒ සියල්ලටම වඩා අපගේ ඉදිරි පරම්පරාවන් සඳහා සාධාරණ සහ තිරසාර අනාගතයක් ලබා දීමට අප තුළ ඇති දැඩි කැපවීම යන කරුණු සැළකිල්ලට ගනිමින්, බ්‍රික්ස් සංවිධානයේ ඉදිරි දැක්මෙහි හවුල්කරුවෙකු වීමට අප විසින් ඉදිරිපත් කර ඇති අයැදුම සළකා බලන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.
බ්‍රික්ස් සංවිධානයේ මීළඟ සභාපතිවරයා වන බ්‍රසීලයට ශ්‍රී ලංකාව ශුභාශිංසන පිරිනමන අතර බ්‍රික්ස් සංවිධානයේ අරමුණුවලට දායක වීම සඳහා සියලුම සාමාජික රාජ්‍යයන් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු.
ස්තූතියි.