2024 ඔක්තෝබර් 14 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ සිටින විදේශික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අන්තර් ක්‍රියාකාරී හමුවේ දී ගරු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස්

2024 ඔක්තෝබර් 14 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ සිටින විදේශික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අන්තර් ක්‍රියාකාරී හමුවේ දී ගරු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස්

මහ කොමසාරිස්වරුනි, තානාපතිවරුනි, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයිනි, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරුනි සහ කොළඹ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීවරුනි,

සුබ උදෑසනක්  වේවා!

මා සහ කොළඹ සිටින විදේශික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර පැවැත් වෙන මෙම පළමු අන්තර් ක්‍රියාකාරී හමුවේදී ඔබ සැම හමුවීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙමි.

ඔබ සැවොම නිරීක්ෂණය කර ඇති පරිදි, විනිවිද සහ සාමකාමී මැතිවරණ ක්‍රියාවලියකින් අනතුරුව 2024 සැප්තැම්බර් 23 වැනි දින අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. අදාළ ව්‍යවස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුව ජනාධිපතිවරයා විසින් සැප්තැම්බර් 24 වැනි දින, එවකට පැවති පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර, පාර්ලිමේන්තු මැතිවරණය 2024 නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිතය.

එබැවින් අපි තවමත් සංක්‍රාන්ති මැතිවරණ සමයක් පසු කරමින් සිටින බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක්, අමාත්‍යාංශ පසළොසක වැඩ කටයුතු මෙහෙයවනු ලබන්නේ අතිගරු ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් තිදෙනකුගෙන් යුත් අමාත්‍ය  මණ්ඩලයක් මගිනි. විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරතුර මම තවත් අමාත්‍යාංශ පහක වැඩ කටයුතු මෙහෙයවමි. ඔබගෙන් බොහෝ දෙනකු මට පෞද්ගලිකව හමුවීමට නොහැකි වීමට හේතුවද මෙයයි - ඒ පිළිබඳව මම සමාව අයැද සිටින අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු වඩාත් සමීපව ඔබ හා සම්බන්ධ වීම සඳහා අද ඔබව දැන හඳුනා ගැනීමට අපේක්ෂා කරමි.

ඒ අතරම, අතිගරු ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවීම සඳහා ප්‍රමුඛත්වය දී ඇති අතර, එම හමුවීම් තවමත් සිදුවෙමින් පවතී. ඔබ අතුරින් බොහෝ දෙනකුමේ වන විටත් අතිගරු ජනාධිපතිතුමා හමුවී ඇතැයි මම සිතමි.

නව රජයේ මූලික සැලසුම් පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට සහ අවිධිමත් අන්තර්ක්‍රියාකාරකම් සිදු කිරීමට මෙම හමුවීම මට අවස්ථාවක් සලසා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

නව රජයට එහි ඉදිරි ගමන ක්‍රියාත්මක කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට හැකි වන්නේ නොවැම්බර් මස පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව පමණක් වන බැවින් ද්විපාර්ශ්වික කටයුතු සම්බන්ධයෙන් එම අදියරේදී ඔබ සෑම කෙනෙකු සමඟම වඩාත් පුළුල් ලෙස සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙමු.

මෑතකදී අවසන් වූ ජනාධිපතිවරණයේදී, ශ්‍රී ලංකාවේ ජනතාව ‘වෙනසක්’ සඳහා ජනවරමක් ලබා දුන්හ - එය නව සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් තුළ අපගේ සියලු පුරවැසියන් ඒකරාශී කරන්නාවූ වෙනසකි.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ සමාරම්භක දේශනයේදී සඳහන් කළ පරිදි, මෙම වෙනසට පියවර රැසක් ඇතුළත් වන අතර, වඩාත් වැදගත්ම පියවරක් වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය තහවුරු කොටඑහි වර්ධනය උත්තේජනය කරන අතරතතුර සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින් ජනතාවගේ දුෂ්කරතා මගහරවා ගැනීමයි.

ඔබ සැවොම දන්නා පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කණ්ඩායමක් සමඟ මේ මස මුලදී අපි ඵලදායී සාකච්ඡා පැවැත්වූ අතර එහි දී ශ්‍රී ලංකාවට සිය සහය ලබා දෙන බවට ඔවුහු අවධාරණය කළහ. විස්තීරණ අරමුදල් පහසුකම සහ අදාළ ප්‍රතිසංස්කරණ වැඩසටහනට සම්බන්ධ මීළඟ අදියරේදී අපි මෙම කණ්ඩායම සමඟ වඩාත් සමීපව කටයුතු කරන්නෙමු.

මෙම මස මුලදී, නිල ණයකරුවන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවිසින් ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්  පිළිවෙළින් ‘තුලනාත්මකභාවය’ සඳහා වන අවශ්‍යතා සහ තිරසාරණය ඉලක්කවලට අනුකූල වන බව තහවුරු කර ඇත. මෙයින් සරලව අදහස් වන්නේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සහ තිරසාර හා සියල්ල ඇතුළත් ආර්ථිකයක් යළි නඟා සිටුවීම සහ වර්ධනය සඳහා පදනම සවිගන්වමින් ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහනේ තුන්වන සමාලෝචනය කරා ඉදිරියට යෑමට රජයට අවස්ථාව සලසා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතා නුදුරු අනාගතයේදී අවසන් වනු ඇති බවයි.

තවත් ධනාත්මක පියවරක් ලෙස, ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක වටිනාකමකින් යුත් RESET (ඔරොත්තු දීමේ හැකියාව, ස්ථාවරත්වය සහ ආර්ථික හැරවුම්) සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීය. ආර්ථික පාලනය, වර්ධනය වැඩි දියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. වැඩසටහන සතුටුදායක ලෙස සිදුවෙමින් පවතින බැවින්, මෙය කොටස් දෙකකින් යුත් මාලාවේ දෙවන මෙහෙයුම විය.

මෙම ස්ථායීකරණ ක්‍රියාමාර්ග සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සමගාමීව යන බව සහතික කිරීමට රජය උනන්දු වන අතර ඔවුන් මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත. අපගේ පුද්ගලික අංශයේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය සහිතව, ඒ සමගම වර්ධනයට සහ ආයෝජනයට තුඩු දෙන ආර්ථික වර්ධනයට අවශ්‍ය සෑම පාර්ශ්වයක්ම සැබවින්ම ඇතුළත් වන බව සහතික කිරීමට අපි කැපවී සිටිමු.

සදාචාරාත්මක පාලනය, දූෂණය පිටුදැකීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ නීතියේ ආධිපත්‍යය, වගවීම සහ අවංකභාවය මූර්තිමත් කරන නව දේශපාලන සංස්කෘතියක් පොහොණි කිරීම කෙරෙහිද අතිගරු ජනාධිපතිතුමා ඉහළ අවධානයක් යොමු කර තිබේ. ආර්ථික සාර්ථකත්වය මෙම ආධාරක කුළුණු මතින්ගොඩනැගියයුතු බව අපි විශ්වාස කරමු.

අල්ලස සහ දූෂණය කිසිසේත්ම නොඉවසන බවට අප විසින් කරන ලද පොරොන්දුවලට අනුකූලව අපි දැනටමත් ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත්තෙමු. සිදුව ඇතැයි කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විටත් කඩිනම් පියවර ගනිමින් සිටියි.

මෙම ආණ්ඩුවේ තවත් ප්‍රධාන අරමුණක් වන්නේ ජාති, ආගම්, පන්ති ආදී විවිධ හේතු මත භේද භින්න වූ යුගය නිමා කර විවිධත්වයට ගරු කරන ජාතියක් ගොඩනැගීමයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට අපි සූදානම්ව සිටින්නෙමු.

අතීත ගැටලුවලට පිළියම් සෙවීම ඇතුළුව සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම රජය විසින් දරනු ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, අතීතයේ සිට මෙතෙක් විසැඳී නොමැති විභාග වෙමින් පවතින පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කඩිනම් කරන බව විමර්ශන බලධාරීන් දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

මේ සෑම අංශයකින්ම, ඔබ නියෝජනය කරන රටවලින් සහ සංවිධානවලින් රජයට ලැබෙන සහයෝගය රජය දිරිමත් කිරීමට සහය වී ඇත. පාර්ශ්වකරුවන් ලෙස ඔබ සියලු දෙනා සමඟ සමීපව කටයුතු කිරීමට අපි අපේක්‍ෂා කරන අතර, අපගේ සියලු පුරවැසියන්ගේ තිරසාර ආර්ථික වර්ධනය සහ සමාජ යහපැවැත්ම ඉදිරියට ගෙන යාම සඳහා අප විසින් දරනු ලබන ප්‍රයත්නයන් වෙනුවෙන් ඔබගේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන්නෙමු.

විදේශ කටයුතු පිළිබඳ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මම මෑත කාලයේදී අවධානයයොමු කළෙමි.

-   ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංගමයේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කර ඇත. එළැඹෙන මැතිවරණය හේතුවෙන් මට සහ අතිගරු ජනාධිපතිතුමන්ට 2024 ඔක්තෝබර් 23 වැනි දින සිට 24 වැනිදා දක්වා රුසියානු සමූහාණ්ඩුවේ කසාන්හිදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සංගමයේ Outreach සමුළුවට සහභාගී වීමට නොහැකි වනු ඇත. එහිදී විදේශ කටයුතු ලේකම්වරිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාමාජිකත්වය සඳහා වන අපගේ ඉල්ලීම සංගමයට ඉදිරිපත් කරනු ඇත. මේ වන විටත් මම බ්‍රික්ස් සංගමයේ සාමාජික රටවල සහය අපේක්ෂා කරමින් අදාළ පාර්ශ්වකරුවන් වෙත ලිපි යොමු කර ඇත්තෙමි.

-   එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව තුළ පදනම්වූ ශක්තිමත් සහ සියලු අංශ ඇතුළත්වන බහුපාර්ශ්විකත්වය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන සහයෝගිතාව, සාමය සහ සංවර්ධනය සඳහාවූ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා බ්‍රික්ස් සංගමය ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස අපි සලකමු.

-   මේ මස ආරම්භයේදී, එනම් 2024 ඔක්තෝම්බර් 4 වැනි දින ශ්‍රී ලංකාව වෙත සිදුවූ ප්‍රථම ඉහළ මට්ටමේ නිල සංචාරය වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගේ පැමිණීම අතරතුරදී එතුමා පිළිගැනීමට ලැබීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙමි. එම සංචාරයේදී, අමාත්‍ය ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැදුටු අතර මා සමඟ සුහද සහ සාධනීය සාකච්ඡාවක ද නිරතවිය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙනුවෙන් අමාත්‍ය ජයශංකර් මහතා, අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ඉන්දීය සංචාරයක නිරත වන ලෙස ජනාධිපති දිසානායක මහතාට ආරාධනා කළේය.

-   2024 ඔක්තෝබර් 9 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයක් සිදු කර ඇත. කවුන්සිලයට අප විසින් සිදුකළ එම ප්‍රකාශය මඟින්, ජනතා විශ්වාසය භුක්ති විඳිය හැකි සංහිඳියාව පිළිබඳ විශ්වසනීය සහ ස්වාධීන දේශීය යාන්ත්‍රණ සහ ක්‍රියාවලීන් ආරම්භ කිරීම සඳහා වන අපගේ කැපවීම අපි ප්‍රකාශ කර සිටියෙමු. මේ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු අපි දැනටමත් ආරම්භ කර ඇත්තෙමු.

-   කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද, කවුන්සිලය සහ එහි නිත්‍ය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අපි නිරන්තරයෙන් අර්ථකාරීව කටයුතු කරන්නෙමු. ඔබ දැනටමත් දන්නා පරිදි මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

-   ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා උපකාරී සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්  දැක්වූ රටවලට අපි ස්තූතිවන්ත වන අතර අන්තර්ක්‍රියාකාරී සැසියේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය වෙනුවෙන් රටවල් ගණනාවක් සිය සහයෝගය දක්වා තිබේ.

-   ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ (අයෝරා) සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන පසුබිම මත, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන්, එම සංවිධානයේ අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම ලබන වසර දක්වා කල් දැමීමට අපට සිදු වන බව ඔබට දන්වා සිටිමු. අයෝරා සංවිධානයේ සාමාජිකයින් සහ එම සංවිධානයේ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර කාල රාමුව තීරණය කිරීමට නියමිතය.

-   ජාත්‍යන්තර වශයෙන්, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ වත්මන් ගෝලීය තත්ත්වය පිළිබඳව අපි අඛණ්ඩව දැඩි අවධානයෙන් සිටින්නෙමු. ගාසා තීරයේ මානුෂීය තත්ත්වය දිනෙන් දින වඩාත් දරුණු අතට හැරෙමින් පවතින අතර, විශේෂයෙන් ලෙබනනයේ පුළුල් කලාපීය මානයන් කෙරෙහි බලපෑමක් ඇති කරන වත්මන් වර්ධනයන් වඩාත් දරුණු වේ. 1967 දේශසීමා මත පදනම්ව, ඊශ්‍රායලයේ ආරක්ෂාවද සහතික කරමින් අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව, ගාසා තීරයට වහා සටන් විරාමයක් සහ සීමාරහිත මානුෂීය ප්‍රවේශයක් සහ තිරසාර ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වන අපගේ ඉල්ලීම අපි අඛණ්ඩව කරගෙන යන්නෙමු.

-   ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ අපගේ සාම සාධක භටයින් දෙදෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාර පිළිබඳව අපි දැඩි ලෙස කනගාටු වෙමු. අභියෝගාත්මක එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල කිහිපයක සේවය කරන අපගේ සාම සාධක භටයන් ගැන අපි ආඩම්බර වන අතර එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයට ගරු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමවේ.

මෙම යාවත්කාලීන කිරීම් සමඟ, මම මගේ අදහස් දැක්වීම අවසන් කිරීමට කැමැත්තෙමි.

ඔබගේ සහභාගිත්වය පිළිබඳ ඔබ සැමට මා බෙහෙවින් කෘතඥ වන අතර සුවබර උදෑසනක් ප්‍රාර්ථනා කරමි!

 

******************

Print Friendly, PDF & Email
Please follow and like us:

Close