විදේශ ලේකම් මට්ටමින් පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන් වේ

විදේශ ලේකම් මට්ටමින් පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය අද (30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පසුව පවත්වනු ලැබූ අතර, එහි සයවැනි වටය 2020 දෙසැම්බර් මාසයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය පුළුල් ලෙස සමාලෝචනයට ලක් කෙරුණු මෙම උපදේශන කටයුතු, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ පාකිස්තානයේ විදේශ ලේකම් මුහම්මද් සයිරස් සජාඩ් කාසි මහතාගේ සම සභාපතිත්වය යටතේ පැවැත්විණි.

සාකච්ඡාවට බඳුන් වූ සහයෝගිතා ක්ෂේත්‍රවලට, ආර්ථික හා වෙළෙඳාම, ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, අධ්‍යාපනය, සංස්කෘතිය, මාධ්‍ය සහ ක්‍රීඩා, කොන්සියුලර් කටයුතු, කෘෂිකර්මාන්තය මෙන්ම තාක්‍ෂණය යන ක්ෂේත්‍ර ඇතුළත් වේ. දෙපාර්ශ්වය බහුපාර්ශ්වික සහ කලාපීය සංසදවලදී ඔවුන්ගේ සහයෝගීතාව පිළිබඳවද සාකච්ඡා කළ අතර, බහුපාර්ශ්වික සංසදවලදී වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ස්ථීර සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාකිස්තානයට විශේෂයෙන් ස්තූති කළහ.

ණය අර්බුදය විසඳීමෙහිලා ශ්‍රී ලංකාවේ නායකත්වයට සහ ජනතාවට ප්‍රශංසා කළ පාකිස්තාන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලින් පාකිස්තානයට උගත හැකි බව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලන හුවමාරුවල වැදගත්කම අවධාරණය කළහ. මෙම සන්දර්භය තුළ නුදුරු අනාගතයේදී විදේශ අමාත්‍ය මට්ටමින් පාකිස්තානය වෙත සංචාරයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

දෙරට අතර ආර්ථික වර්ධනය, විශේෂයෙන්ම ගුවන් ගමන් වාර ඉහළ නැංවීම ඇතුළුව ද්විපාර්ශ්වික වෙළඳාම සහ සම්බන්ධතා වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දුත පිරිස එකඟතාව පළ කළහ. සංස්කෘතික, ආගමික සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍ර තුළින් සංචාරක ව්‍යාපාරය සහ පුද්ගල සබඳතා  තවදුරටත් වැඩිදියුණු කළ හැකිය. ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට අහිතකර ලෙස බලපාන මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවල අභියෝගවලට මුහුණ දීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටද දෙපාර්ශවය එකඟ විය.

ශ්‍රී ලංකාව පකිස්තානය වෙත අක්ෂි කනීනිකා දන් දීමේ දීර්ඝ සම්ප්‍රදාය සිහිපත් කරවමින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් පරිත්‍යාග කරන ලද අක්ෂි කනීනිකා පහක් විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් මෙම හමුව අවසානයේදී පාකිස්තාන විදේශ ලේකම්වරයා වෙත භාර දෙන ලදී.

මෙම උපදේශන සඳහා සහභාගීවූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර.සී.විජේගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් විය. විදේශ ලේකම් මුහම්මද් සයිරස් සජාඩ් කාසිගේ මහතා ප්‍රමුඛ පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පාකිස්තාන පාර්ශවය සමන්විත විය.

ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල මීළඟ වටය අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ දිනයක කොළඹදී පැවැත්වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close