“දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂය" ප්‍රකාශයට පත් කරමින්, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය වොෂින්ටන් නුවරදී අවසන් කරයි

“දෙරටේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂය” ප්‍රකාශයට පත් කරමින්, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය වොෂින්ටන් නුවරදී අවසන් කරයි

ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය 2024 ජූලි 12 වැනි දින වොෂින්ටන් ඩී.සී. නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරන ලද අතර එක්සත් ජනපද පාර්ශ්වය එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා විසින් මෙහෙයවනු ලැබිණි.

ශ්‍රී ලංකා දූත පිරිසට එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම වොෂින්ටන් ඩී.සී නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද ඇතුළත් වූහ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද භාණ්ඩාගාරය, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ  පිරිසක්  එක්සත් ජනපද නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

ජුලි 12 වැනි දින වොෂින්ටන් ඩී.සී. නුවර පැවැති එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය නිමිත්තෙන් එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා රජයන් විසින් පහත ප්‍රකාශය නිකුත් කරනු ලැබේ.

පෙළෙහි ඇරඹුම:

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව, ආර්ථික සමෘද්ධිය, ආරක්ෂක සහයෝගීතාව, තිරසාර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහ ජනතාව අතර සබඳතා සඳහා පවතින සභාගී කැපවීම ප්‍රකාශ කිරීම සඳහා 2024 ජූලි 12 වැනි දින වොෂින්ටන් ඩී.සී. නුවරදී දෙරට අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය පැවැත්වීය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් මෙම රැස්වීමේ සම මුලසුන දරනු ලැබිණි. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව, සභාගී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම සඳහා දැඩි ලෙස මුල් බැසගත් ද්විපාර්ශ්වික සබඳතාව සඳහා ඔවුන්ගේ කැපවීම යළි තහවුරු කළ අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂයද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයේ සලකුණු සහ ආර්ථික ප්‍රතිසාධනය, මූල්‍ය පාලනය සහ අනාගත වර්ධනය සඳහා පදනම තනන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වැඩසටහන සහ ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ ස්ථීර කැපවීම එක්සත් ජනපදය විසින් පිළිගනු ලැබිණි. පසුගිය ආර්ථික අර්බුදය තුළ ඩොලර් බිලියන කාලකට වඩා වැඩි ආර්ථික ආධාර ලබා දෙමින් එක්සත් ජනපදය දැක්වූ දායකත්වය සඳහා ශ්‍රී ලංකාව සිය අවංක ස්තුතිය ප්‍රකාශ කළේය. තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ආර්ථික සහ පාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහාත් එක්සත් ජනපදය අඛණ්ඩව සිය සහය දක්වයි.

වෙළෙඳපොළ ප්‍රවේශය, ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ අභිප්‍රාය නියෝජිතයෝ දෙදෙනාම නැවත අවධාරණය කළහ. පුද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම, දූෂණයට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි කිරීම සහ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා ආහාර අනාරක්ෂිතභාවය විසඳීම මගින් සිය ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතා වැඩසටහනේ ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහය වීමට එක්සත් ජනපදය සිය කැපවීම ප්‍රකාශ කළේය. කාන්තා සවිබල ගැන්වීමේ පනත හරහා කාන්තාවන්ට සහාය දැක්වීමේ පියවර ඇතුළුව, සමාජ ආරක්ෂණ ජාලය සඳහා ශ්‍රී ලංකා රජය වැඩි ආයෝජනයක් කිරීම එක්සත් ජනපද නියෝජිත පිරිස විසින් පිළිගනු ලැබිණි. ඉතා වැදගත් යටිතල පහසුකම් සහ රැකියා සපයන ආයෝජනයක් වන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 553ක දායකත්වයක් සපයන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ කාර්යභාරය ශ්‍රී ලංකාව අගය කළේය. සංවර්ධන මූල්‍ය සහයෝගිතා වැඩසටහන ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අමතර අවස්ථා ගවේෂණය කරමින් සිටියි. එක්සත් ජනපද-ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුම යටතේ ඉදිරි වසර තුළ ද්විපාර්ශ්වික වෙළෙඳ ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරෙන සාකච්ඡා අඛණ්ඩව පවත්වා ගෙන යෑමට දූත පිරිස එකඟ වූහ.

දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට දෙරට කැපවී සිටියි. 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70ක් විදුලිය නිපදවීම සහ 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය එක්සත් ජනපදය පිළිගත්තේය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන යටතේ එක්සත් ජනපදය මේ සඳහා ආධාර සපයයි. බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණවලට සහය වීම සඳහා තාක්ෂණික සහය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල නල මාර්ගයක් ඇතුළුව, මෙම ඉලක්ක සපුරාලීම සඳහා දැනට පවතින එක්සත් ජනපද ආධාර සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කළේය. ගෝලීය දේශගුණික මූල්‍යකරණ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ සහය ශ්‍රී ලංකාව අගය කළ අතර 2023දී දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ පාර්ශ්වවල 28 වැනි සමුළුවේදී සාකච්ඡා කළ පරිදි එහි බලශක්ති සංක්‍රාන්තිය සඳහා මූල්‍යකරණය සැපයීමට එක්සත් ජනපදය ලබා දුන් සහය ශ්‍රී ලංකාව පිළිගත්තේය.

විනිවිදභාවය, පාලනය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම; පාරිසරික හා දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම; සහ බලශක්ති සුරක්ෂිතභාවය සහ තිරසාරත්වය වැඩිදියුණු කිරීම යන වැඩසටහන් ඇතුළුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හරහා ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට අඛණ්ඩව සහය දැක්වීමට එක්සත් ජනපදය සිය අභිප්‍රාය ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාව තුළ සියලු දෙනා ඇතුළත් සහ තිරසර කෘෂිකර්මාන්තය මූලික කරගත් ආර්ථික වර්ධනය පෝෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ඉදිරි පස් අවුරුදු ක්‍රියාකාරකම් පිළිබඳ නිවේදනය මෙයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා රජයේ උපදේශනය සහිතව ශ්‍රී ලාංකීය පාසල් දරුවන් සඳහා පෝෂණය සහ අධ්‍යාපන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම එක්සත් ජනපද නියෝජිත පිරිස යළිත් තහවුරු කළේය. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා මෙම පියවර පහසුකම් සපයන බව දෙපාර්ශ්වයම හඳුනා ගත්හ. එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව/Foreign Agricultural Service McGovern-Dole Food for Education වැඩසටහන/Save the Children ව්‍යාපෘතිය සහ ඇ.ඩො.මිලියන 32.5ක නව පස් අවුරුදු ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ජාතික ආහාර වැඩසටහන යටතේ පාසල් සිසුන් 200,000 ක් ආවරණය වන පරිදි පවත්වන ලද සාර්ථක පෝෂණ ව්‍යාපාරය ශ්‍රී ලංකාව විසින් අගය කරන ලදී.

නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම නියෝජිතයින් විසින් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව අයෝරා සංවිධානයේ සභාපතිත්වය දරන කාල සීමාව තුළද ඇතුළුව ඉන්දියන් සාගරයේ ආරක්ෂිත සමුද්‍ර කලාපයක් ඉලක්ක කරගත් සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය තීරණය කළේය. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීමට සහ මානුෂීය සහ පශ්චාත් ආපදා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇ.ඩො.මිලියන 30.18ක වටිනාකමින් යුතු එක්සත් ජනපද Excess Defense Articles වැඩසටහන යටතේ සිව්වන High Endurance U.S. Coast Guard Cutter වර්ගයට අයත් යාත්‍රාවේ සහ King Air වර්ගයට අයත් ගුවන් යානයේ පැමිණීම ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගත්තේය.

මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීම සහ ආපදා සහන සහ ප්‍රතිචාර දැක්වීම, ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම්, සයිබර් ආරක්‍ෂාව පිළිබඳ සහයෝගීතාව සහ වරාය ආරක්‍ෂාව සඳහා එක්සත් ජනපදයේ සහාය ඇතුළුව දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහ ආරක්‍ෂණ අංශයේ සහයෝගීතාව දෙපාර්ශ්වය විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජලවිද්‍යාත්මක සිතියම්කරණ හැකියාවන් සහ මෙම ක්ෂේත්‍රයේ පිරිස් පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ඇති අවස්ථා ගවේෂණය කිරීමට එක්සත් ජනපදය ප්‍රතිඥා දුන්නේය. රතු මුහුදේ ආරක්‍ෂාව, ආරක්‍ෂණය සහ යාත්‍රා කිරීමේ නිදහස අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වීම සහ සහය දැක්වීම පිළිබඳවද එක්සත් ජනපදය සිය කෘතඥතාව පළ කළේය.

සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එක්සත් ජනපදය පිළිගත් අතර මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගන්නා අඛණ්ඩ උත්සාහයන් අගය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සංහිඳියාව සහ දේශීය යාන්ත්‍රණ සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකාව එක්සත් ජනපදය දැනුම්වත් කළේය. පාර්ශ්වකරුවන්ගේ අදහස් ඇතුළත් කර ගනිමින් මෙම ගැටලු  සම්බන්ධයෙන් ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිමත් කළේය. දූෂණ විරෝධී නීති සම්මත කිරීම සහ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල රජය සතු ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට නිදහස් කිරීම ආදී ක්‍රියාකාරකම් එක්සත් ජනපදය අගය කළේය.

දෙරට අතර අධ්‍යාපනය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් පවතින සහයෝගිතාව සඳහා දෙපාර්ශ්වයම දැඩි උනන්දුවක් පළ කළේය. ඉකුත් වසර 23ක කාලය තුළ එක්සත් ජනපදයෙන් ලැබුණු අරමුදල් මගින් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීමට දරන උත්සාහයන් නියෝජිත පිරිස විසින් පිළිගනු ලැබීය. එහිදී එක්සත් ජනපද Fulbright වැඩසටහන වැනි අධ්‍යාපනික හුවමාරුවල වටිනාකම අවධාරණය කෙරුණු අතර, දෙරටටම ප්‍රයෝජනවත් වන විශ්ව විද්‍යාල හවුල්කාරිත්වය, ඒකාබද්ධ පර්යේෂණ ප්‍රයත්න සහ විදේශීය අධ්‍යයන සහ හුවමාරු සඳහා ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේය. කොළඹින් පිටත කලාපීය නායකත්ව පුහුණු වැඩසටහනක් වන එක්සත් ජනපද රජයේ තරුණ දකුණු ආසියානු නායකත්ව මුලපිරීම දියත් කිරීම එක්සත් ජනපදය අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම, ගුරු පුහුණුව, විෂයමාලා සංවර්ධනය සහ අනෙකුත් කාර්යයන් සඳහා අඛණ්ඩව සහයෝගීතාව ලබා දීමට නියෝජිත පිරිස තීරණය කළහ. වසර 26ක විරාමයකින් පසු 2024 වසරේදී එක්සත් ජනපද සාම බළකාය යළි ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව නියෝජිත පිරිස සිය ප්‍රශංසාව පළ කළේය.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සිය 76 වසරක හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කළ අතර ආර්ථිකය සහ සංවර්ධනය, දූෂණ විරෝධීභාවය, දේශගුණික විපර්යාස, ආරක්ෂක සහයෝගීතාව, පාලනය සහ මානව හිමිකම් සහ මානව සබඳතා ඇතුළු පුළුල් පරාසයක ප්‍රගතිය දිරිමත් කිරීමට තමන් තුළ ඇති කැපවීම යළිත් තහවුරු කළේය.

පෙළෙහි අවසානය

******************

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close