මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම  සහ ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරයි

මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම  සහ ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරයි

නිව් යෝර්ක් නුවර පිහිටි  මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම  වෙත ශ්‍රී ලංකාව මහාද්වීපික තටාක සීමාවන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම ජැමෙයිකාවේ පිහිටි ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය වෙත ඇෆනාසි නිකිටින් මුහුදු ගිරෙහි කොබෝල්ට් නිධියක් ගවේෂණය කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති  කරුණු සම්බන්ධයෙන් නිකුත් කෙරුණු මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන්,  එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 76 වැනි වගන්තිය ප්‍රකාරව සියලුම වෙරළබඩ රාජ්‍යයන්ට නාවික සැතපුම් 200 ක සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට දිගු වූ මහාද්වීපික තටාකයකට හිමිකම් පෑමට අයිතියක් ඇති බව අමාත්‍යාංශය සිහිපත් කරයි. වෙරළබඩ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව, පරීක්ෂාකාරී අධ්‍යයනයෙන් සහ විශේෂඥ අදහස් අනුගමනය කරමින් 2009 මැයි 8 වැනි දින මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක දත්ත සහ අනෙකුත් කරුණු මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම වෙත ඉදිරිපත් කරන ලදී. බෙංගාල බොක්කෙහි දකුණු කොටසේ පිහිටි රාජ්‍යයන් සම්බන්ධයෙන් අවබෝධතා ප්‍රකාශයේ අන්තර්ගත විශේෂ ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාව විසින් සිය ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබිණි.

මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම  විසින් 2016 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කිරීම සලකා බැලීම සඳහා අනුකොමිසමක් පත් කරන ලද අතර එම අනුකොමිසම සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර සාකච්ඡා වට කිහිපයක් සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම තවමත් නිර්දේශ ඉදිරිපත් කර නොමැති අතර ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ප්‍රදේශය සම්බන්ධයෙන් ඉන්දියාව විසින් මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම වෙත කරන ලද ඉල්ලීමක් හේතුවෙන් එම කොමිසම විසින් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කිරීම සලකා බැලීම දැනට අත්හිටුවා ඇත. රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත.

මේ අතරතුර, ඉන්දියාව ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය  වෙත ඇෆනාසි නිකිටින් මුහුදු ගිරෙහි පිහිටි කොබෝල්ට් බහුල ෆෙරෝමැන්ගනීස් නිධිය ගවේෂණය සඳහා වැඩ සැලැස්මක් අනුමත කිරීම සඳහා අයදුම් කර ඇත.

ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය යනු රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරනු ලැබෙන එවැනි ඉල්ලීම් සලකා බැලීමට සහ අනුමත කිරීමට සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි අදියර XI හි වගන්ති 4 ප්‍රකාරව පිහිටුවා ඇති අධිකාරියයි.

කොබෝල්ට් බහුල ෆෙරොමැන්ගනීස් නිධිය ගවේෂණය කිරීම සඳහා ඉන්දියාව විසින් ඉල්ලුම් කර ඇති ප්‍රදේශය මුළුමනින්ම පවතින්නේ ශ්‍රී ලංකාව එහි මහාද්වීපික තටාක ඉදිරිපත් කිරීම යටතේ ඉල්ලුම් කර ඇති ප්‍රදේශය තුළ බැවින්, ශ්‍රී ලංකාව මෙම කරුණු ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියෙහි අවධානයට යොමු කර ඇති අතර මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකවේ  ඉදිරිපත් කිරීම පිළිබඳව අවසාන නිර්දේශ ලබා දෙන තුරු මෙම කාරණය අත්හිටුවන ලෙස ඉල්ලා ඇත. ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියා පරිපාටි අනුගමනය කරමින් සිටින අතර ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවෙමින් පවතී.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ ආයතන දෙකක් වන මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම  සහ ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරිය යන ආයතන ඉදිරියේ මේ වන විට මෙම කරුණු දෙකම සැලකිල්ලට ගැනෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ස්වෛරී අයිතිවාසිකම් අත්හැර දමා ඇති බවට ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පළ වූ මෑත කාලීන  සමපේක්ෂණ මෙම කරුණ සම්බන්ධයෙන් ඇති සත්‍ය තත්ත්වය මත පදනම් වී නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ජූලි 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close