අයෝරා ව්‍යාපාරික සංසදයේ සමාරම්භය ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ

අයෝරා ව්‍යාපාරික සංසදයේ සමාරම්භය ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ

ඉන්දියානු සාගර ආශ්‍රිත රටවල සංගමයේ සභාපතිත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යාංශය, අයෝරා ව්‍යාපාරික සංසදයේ වත්මන් සභාපතිධූරය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන්, 2024 මැයි 28 වැනි දින සිට 29 වැනි දා දක්වා ෂැංග්‍රි-ලා හෝටලයේදී  පළමු ව්‍යාපාරික සංසදය ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

 “තිරසාර වර්ධනය – වෙරළ ඉම් යාකිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ව්‍යාපාරික සංසදය, සුහුරු කෘෂිකර්මය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සැපයුම්, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අයෝරා සාමාජික රටවල් අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයන් සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ක්ෂේත්‍රවල පුරෝගාමීන්ට අවස්ථාවක් ලබාදීම මෙම සංසදයේ අපේක්ෂාවයි.

අයෝරා සාමාජික රටවල් විසිතුනක(23) සහ සංවාද පාර්ශ්ව රටවල් දොළසක(12) වෙළඳ නියෝජිතයින් විසින් නියෝජනය කරනු ලබන ඔවුන්ගේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම අරමුණු කරගනිමින් විවිධ ව්‍යාපාර සහ ආයෝජන අපේක්ෂාවන් සඳහා සහභාගිවන්නන්ට පුළුල් අවස්ථාවන් ලබා ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපාරික සංසදයෙන් අනතුරුව 2024 මැයි 30 වැනි දින සිට 31 වැනි දා දක්වා 26 වැනි අයෝරා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close