දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ සිදු කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පිළිගනී

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ සිදු කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පිළිගනී

 

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2024 මැයි 13 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා හමුවී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ මං පිළිබඳව සාකච්ඡා කළාය.

විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය ආර්ථික අංශයෙහි මෑතකාලීන වර්ධනයන් මෙන්ම අපනයන ඉලක්ක කර ගත්, විවෘත වෙළෙඳපලෙහි වර්ධනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති උපාය මාර්ග සහ මුලපිරීම් පිළිබඳව සහකාර ලේකම් ලූ මහතා දැනුවත් කළාය. පාලනය, නීතියේ ආධිපත්‍යය, මූල්‍ය පාලනය මෙන්ම දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සංහිඳියාව වර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇය එහිදී විස්තර කළාය. සාගර ක්ෂේත්‍රය ඇතුළුව සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය ඵලදායී ලෙස හැසිරවීමට මෙන්ම සමුද්‍රීය වෙළෙඳාම ආරක්‍ෂා කිරීම සඳහා ජාතීන් දෙක අතර පවතින ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳවද විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය සාකච්ඡා කළාය.

සහකාර ලේකම් ලූ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සබැඳි ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා ජනතාව සහ රජය විසින් දරන ලද දැවැන්ත උත්සාහය සහ ලබාගත් ධනාත්මක ප්‍රතිඵල අගය කළේය. ඔහු දූෂණ විරෝධී නීති සම්මත කිරීම පැසසුමට ලක් කළ අතර එය ක්‍රියාත්මක කිරීම සහ පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික විය. සහකාර ලේකම්වරයා ශ්‍රී ලංකාව සෑම අංශයක්ම ඇතුළත් වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කරගෙන යෑම දිරිමත් කළේය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහකාර ලේකම් ලූ මහතා සමඟ සාකච්ඡාවට එක්වූහ. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුවේ, මුදල් අමාත්‍යාංශයේ, ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම හමුවට එක්ව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එක්සත් ජනපද සහකාර ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාද හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 මැයි 13 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close