ශ්‍රී ලංකාවේ ජෙෆ්රි බාවාගේ නිර්මාණ 15 වැනි සෝල් ජාත්‍යන්තර ගෘහ නිර්මාණ චිත්‍රපට උළෙල දී ප්‍රදර්ශනය කරන ලදී

ශ්‍රී ලංකාවේ ජෙෆ්රි බාවාගේ නිර්මාණ 15 වැනි සෝල් ජාත්‍යන්තර ගෘහ නිර්මාණ චිත්‍රපට උළෙල දී ප්‍රදර්ශනය කරන ලදී

සෝල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු ලියාපදිංචි ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා වන ආයතනය (KIRA) සමඟ එක්ව 15 වන සෝල් ජාත්‍යන්තර ගෘහ නිර්මාණ චිත්‍රපට උළෙලට සමගාමීව 2023 සැප්තැම්බර් 14 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී  "Bawa’s Garden" චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදී.

ක්ලාරා ක්‍රාෆ්ට් ඉසෝනෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපටයෙ හි නිවර්තන නූතනවාදී ශෛලියේ පුරෝගාමියෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා ගේ නිර්මාණ ඇතුළත් විය. ප්‍රධාන වශයෙන්ම ඔහුගේ වතුයාය වන “ලුණුගඟ” කෙරෙහි අවධානය යොමු කරමින්, එම වාර්තා චිත්‍රපටය බාවාගේ සමීපතමයන්ගේ විස්තර සහ නිර්මාණ තුලින් ඔහුගේ ජීවිතය සහ නිර්මාණ පිළිබඳව හෙළි කරයි.

15 වන සෝල් ජාත්‍යන්තර ගෘහ නිර්මාණ චිත්‍රපට උළෙලේ උත්සව අධ්‍යක්ෂ Kim Chang-gil චිත්‍රපට ප්‍රදර්ශනයට පැමිණ සිටි ආරාධිතයන් පිළිගත් අතර ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රවර්ධනය කිරීමෙහි ලා සෝල් ජාත්‍යන්තර ගෘහ නිර්මාණ චිත්‍රපට උළෙල ඉටු කළ වැදගත් කාර්යභාරය සඳහන් කළේය.

ස්වභාවධර්මය හා තිරසාර බව ප්‍රදර්ශනය කරන අංගයන්ට අනුගත වෙමින් ඔහුගේ නිර්මාණ තුළ බොහෝ විට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ගෘහනිර්මාණ ශිල්පීය අංග ඇතුළත් කර ඇති බව බාවාගේ විවිධ හා සාරවත් නිර්මාණ පිළිබඳව අදහස් දක්වමින් කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මහත්මිය සඳහන් කළාය. ඔහුගේ ගොඩනැගිලි බොහෝ විට සන්සුන් සහ නිවුණු හැඟීමක් ජනනය කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

සම්මානලාභී ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියෙකු, ලේඛකයෙකු, බාවා භාරයේ සහ ලූණුගඟ භාරයේ භාරකරු වන චන්න දාස්වත්ත මහතා විසින් පැමිණ සිටි පිරිස මාර්ගගතව අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමේ සිට පුද්ගලික සහ පොදු දේපල නිර්මාණය කිරීම දක්වා වූ බාවාගේ නිර්මාණ පිළිබඳව සඳහන් කළේය. බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පය තුළින් යම් ස්ථානයකට විශේෂිත වූ ඉතිහාසය සහ සමාජයීය අවශ්‍යතා පිළිබිඹු කරන බවද ඔහු සඳහන් කළේය. නිවර්තන දේශගුණයට ගැලපෙන අයුරින් නිර්මාණ කිරීමට දේශීය අමුද්‍රව්‍ය භාවිතය සඳහා බාවා උත්සුක වූ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රදර්ශනයට පෙර ආරාධිත අමුත්තන් සඳහා සුහද පිළිගැනීමේ හමුවක් තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ. "Bawa’s Garden" චිත්‍රපටය සිනමා උළෙලේ සෝල් ප්‍රධාන සිනමා ශාලාවේ දී  2023 සැප්තැම්බර් 07 සහ 08 යන දිනවල දී තිරගත විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2023 සැප්තැම්බර් 18

Print Friendly, PDF & Email
Please follow and like us:

Close