ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලීය නියෝජිත පිරිසක් මහ කොමසාරිස් මොරගොඩ මහතා හමුවෙති

 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලීය නියෝජිත පිරිසක් මහ කොමසාරිස් මොරගොඩ මහතා හමුවෙති

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ (SLNDC) ඉන්දියාව වෙත ආරම්භක ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යයන චාරිකාවේ යෙදී සිටින දූත පිරිසක් 2023 සැප්තැම්බර් 14 වන දින නවදිල්ලියේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවිය.

සුහද හමුවෙන් අනතුරුව, මහ කොමසාරිස් මොරගොඩ මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වත්මන් තත්ත්වය පිළිබඳව හා අනාගත සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවන ඇති කිරීම සඳහා යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දූත පිරිස සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. පසුගිය කාලය තුළ ආර්ථිකය, බලශක්තිය සහ ආරක්ෂක ක්ෂේත්‍රවල ඇති වූ ප්‍රගතිය ද පැහැදිලි කළ ඔහු දෙරට අතර දැනටමත් එකඟ වී ඇති සමහර මුලපිරීම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම SLNDC පාඨමාලාව හදාරන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් විසින් ඉන්දියාව සහ ඉන්දියන් සාගර ගතිකත්වය අවබෝධ කර ගැනීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා විසින් අවධාරණය කරන ලදී. උපාය මාර්ගික යෙදවුම් හරහා රටේ අනාගත ප්‍රගතියට දායක වන ආරක්ෂක හමුදාවන්ගේ වැදගත්කම අවධාරණය කළ මහ කොමසාරිස් මොරගොඩ මහතා, අනාගත ශ්‍රී ලංකා හමුදා නායකයින් හැඩගැස්වීමෙහි ලා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෑතකාලීන ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලය පිළිබඳව කෙටියෙන් කරුණු දක්වමින් මහ කොමසාරිස් මොරගොඩ මහතා ප්‍රකාශ කළේ අනාගත ඉන්දියා-ශ්‍රී ලංකා සහයෝගිතාව මූලික වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ 'සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිය උත්ප්‍රේරණය කිරීම: ඉන්දියා-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම' යන ලේඛනයේ දක්වා ඇති ප්‍රධාන කරුණු පහට අනුකූල වන සම්බන්ධතා සහ ආයෝජන කෙරෙහි බවයි.

මහ කොමසාරිස් මොරගොඩ මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා 2021 දී දියත් කරන ලද ඒකාබද්ධ උපාය මාර්ගයේ දක්වා ඇති ප්‍රධාන තේමා ක්ෂේත්‍ර ද පැහැදිලි කළේය. අතීත ආවර්ජනය මගින් එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ඔහු නිරීක්ෂණය කළේය.

SLNDC නියෝඡනය කරමින් පැමිණ සිටි නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක කාර්ය මණ්ඩලයේ (යුධ හමුදාව) බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc, විසින් මෙහෙයවන ලද අතර ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විය.

සාමූහික බුද්ධිමත් උත්සාහයක් ලෙස රටේ ජාතික ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය පාලනය, පරිපාලනය, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල අනාගත ප්‍රතිපත්ති සම්පාදකයින් සංවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උපාය මාර්ගික අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලය 2021 නොවැම්බර් මාසයේ දී ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2023 සැප්තැම්බර් 18

Print Friendly, PDF & Email
Please follow and like us:

Close