මහ කොමසාරිස් මොරගොඩ බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් හමුවෙයි

මහ කොමසාරිස් මොරගොඩ බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් හමුවෙයි

“වෛශාලි ප්‍රජාතන්ත්‍රවාදී උත්සවය” සඳහා සහභාගී වීමට බිහාර් ප්‍රාන්තයේ තෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සෙනසුරාදා (16) දින ප්‍රාන්ත අගනුවර වන පට්නාහි බිහාර් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නිතිෂ් කුමාර් මහතාගේ නිල නිවසේදී එතුමා හමුවිය.

ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නිතිෂ් කුමාර් මහතා විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව පැවති සාකච්ඡාව ඉතා සුහද ලෙස පැවැත්විණි.

ප්‍රධාන අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා බිහාර් ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන්ම බුද්ධාගම මත පදනම් වූ ශක්තිමත් ශිෂ්ටාචාර සබඳතා සමාලෝචනය කළහ. මහ කොමසාරිස් මොරගොඩ බිහාර් ප්‍රාන්තයේ අති පූජනීය සිද්ධස්ථාන වන බුද්ධගයාව ඇතුළු ශුද්ධ වූ බෞද්ධ සිද්ධස්ථාන වෙත ශ්‍රී ලාංකික වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන ආකාරය සිහිපත් කළ අතර, ඔහුගේ ප්‍රාන්තය වෙත සංචාරය කරන මෙම ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන්ට හැකි සෑම සහයක්ම ලබා දෙන ලෙස මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.ඊට ප්‍රතිචාර දක්වමින් මහ ඇමති නිතිෂ් කුමාර් බුදු දහම තම හදවතට කෙතරම් සමීපව තබා ගන්නේද යන වගත් ශ්‍රී ලංකාව කෙරෙහි තමා තුළ වන  විශේෂ උනන්දුව පිළිබඳවත් ප්‍රකාශ කළේය.

බිහාර් ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ විධික්‍රම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

රැස්වීමෙන් අනතුරුව ප්‍රධාන ඇමැතිවරයා සිය නිල නිවසෙහි ගෙවත්තේ රෝපණය කර ඇති බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධියෙන් වැඩම කරවන ලද අංකුර බෝධීන් වහන්සේ නැරඹීමට මහ කොමසාරිස්වරයා කැඳවාගෙන ගියේය.

බිහාර් සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ශිෂ්ටාචාර සබඳතාවයේ සංකේතයක් ලෙස, අශෝක අධිරාජ්‍යයා බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා අංකුරය එය අනුරාධපුරයේ රෝපණය කිරීම සඳහා තම දියණිය වූ සංඝමිත්තා තෙරණිය සමඟ ලංකාවට එවීමට පෙර චාරිත්‍රානුකූලව  සලකුණු කරන ආකාරය නිරූපණය කෙරෙන කැලණිය රජ මහා විහාරයේ බිතු සිතුවමක විශාල ප්‍රතිනිර්මාණයක් මහ කොමසාරිස් මොරගොඩ විසින් ප්‍රධාන ඇමැතිවරයාට ඉදිරිපත් කරන ලදී.

ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මහ කොමසාරිස් මොරගොඩ මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රෝපණය කර ඇති පට්නා බුද්ධ ස්මෘති උද්‍යානය වෙත ද සංචාරය කළේය.

මහ කොමසාරිස් මොරගොඩ බිහාර් ප්‍රධාන අමාත්‍යවරයාට අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක දී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එය ප්‍රධාන අමාත්‍යවරයා විසින් සතුටින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්

නව දිල්ලි

2023 සැප්තැම්බර් 18

Print Friendly, PDF & Email
Please follow and like us:

Close