2023 සැප්තැම්බර් 6 සිට 9 දක්වා පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව සහභාගී වේ

2023 සැප්තැම්බර් 6 සිට 9 දක්වා පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව සහභාගී වේ

තුර්කියෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් TÜYAP ප්‍රදර්ශන සහ කොන්ග්‍රස් මධ්‍යස්ථානයේ, 2023 සැප්තැම්බර් 6 සිට 9 දක්වා පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධීකරණය කරන ලදී.

සීමාසහිත Ceylon Tea Land පුද්ගලික සමාගම, සීමාසහිත Uniworld Teas පුද්ගලික සමාගම, සීමාසහිත Heritage Teas පුද්ගලික සමාගම සහ සීමාසහිත Vintage Teas සිලෝන් පුද්ගලික සමාගම විසින් තුර්කියෙ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘සිලෝන් ටී’ කුටිය තුළ ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කර තිබුණි. මීට අමතරව සීමාසහිත MJF Exports පුද්ගලික සමාගම, Imperial Teas සමාගම් සමූහය සහ සීමාසහිත McCoy Ceylon Commodities පුද්ගලික සමාගම විසින් ද තේ අංශය නියෝජනය කරන ලදී. තවද සීමාසහිත NDC Exports පුද්ගලික සමාගම සහ සීමාසහිත Manchee De Coco Products පුද්ගලික සමාගම විසින් පොල් ආශ්‍රිත ආහාර නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ලදී.

මෙම ප්‍රදර්ශනය යුරේසියාවේ විශාලතම ආහාර පාන අංශයේ ප්‍රදර්ශනය වන අතර මෙය ගෝලීය වශයෙන් ආහාර පාන අංශයේ විශාලතම ප්‍රදර්ශනයක් බවට පත්වෙමින් තිබේ. වසර 30 ක් පුරාවට ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය ජාත්‍යන්තර ආහාර පාන නිෂ්පාදකයින් සහ තුර්කියෙ හි ප්‍රධාන ගැනුම්කරුවන් හමුවන ස්ථානයක් බවට පත් වී ඇත. විදේශීය සමාගම්වලට තුර්කි ආහාර අංශය ගවේෂණය කිරීමට, වැදගත් කර්මාන්ත සහ ගැනුම්කරුවන් සමඟ ජාලගත වීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන ආකර්ෂණීය නව වෙළඳපොළක් තුළ ප්‍රවර්ධනය කිරීමට සුදුසුම ස්ථානය මෙයයි. ව්‍යපාරික  සිදුවීමක් ලෙස, ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය යනු තුර්කියේ ඩොලර් බිලියනයක ආහාර ආනයන අංශයේ විකුණුම් වර්ධනය කිරීමට සහ නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා වූ පරිපූර්ණ වේදිකාවකි.

ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය යනු බොහෝ දේශීය සහ විදේශීය වෙළඳ සන්නාම ඉදිරිපත් කරන වේදිකාවක් වන අතර නිෂ්පාදකයින්ගේ සිට ව්‍යවසායකයින් දක්වා සියලුම පාර්ශවකරුවන් විසින් ආහාර පාන අංශය නියෝජනය කරනු ලැබේ. 2022 වර්ෂයේ දී, රටවල් 25 කින් ප්‍රදර්ශකයින් 835 ක් සහ රටවල් 163 කින් අමුත්තන් 38,358 ක් ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගි වී සිටියහ. 2023 සඳහා සංඛ්‍යාලේඛන ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සනිටුහන් කිරීමට සමගාමීව, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිසටර් (වාණිජ)  තනතුර දරන තවුශ්‍ය මුල්ලේගම්ගොඩ මහතා විසින් විදේශ ආර්ථික සබඳතා මණ්ඩලය (DEIK), ඉස්තාන්බුල් වාණිජ මණ්ඩලය, ස්වාධීන කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ සංගමය (MÜSİAD), තුර්කි සංචාරක නියෝජිතායතන සංගමය (TÜRSAB), තුර්කි කර්මාන්ත සහ ව්‍යාපාරික සංගමය (TÜSİAD) සහ තුර්කි අපනයනකරුවන්ගේ සමූහය (TİM) යන ඉස්තාන්බූල් හි කාර්යාල පිහිටා ඇති සංගමයන් සමග අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක රැස්වීම් පවත්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2023 සැප්තැම්බර් 11

Print Friendly, PDF & Email
Please follow and like us:

Close