මහ කොමසාරිස් මොරගොඩ මහතා සහ ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා අතර සමුගැනීමේ හමුවක් පැවැත්වේ

මහ කොමසාරිස් මොරගොඩ මහතා සහ ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි මහතා අතර සමුගැනීමේ හමුවක් පැවැත්වේ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අගෝස්තු 24 වන දින නවදිල්ලියේදී ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ශ්‍රී නිතින් ගඩ්කාරි මහතා හමු වී සමුගන්නා ලදී.

ආරම්භයේදීම, මහ කොමසාරිස් මොරගොඩ මහතා, ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් නවදිල්ලියේ සිය ධූර කාලය තුළ දී ලබා දුන් සහයෝගිතාව පිළිබඳව ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ ඉන්දීය අගමැති ජූලි මාසයේදී පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කරන ලද “Promoting Connectivity, Catalysing Prosperity: India-Sri Lanka Economic Partnership Vision යන ඉන්දු-ලංකා ඒකාබද්ධ ලේඛනයේ සඳහන්, විශේෂයෙන්ම මාර්ග සම්බන්ධතා පිළිබඳ ඔහු අමාත්‍යවරයා දැනුවත් කළේය. මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා ඒකාබද්ධ දැක්ම ලේඛනයේ දක්වා ඇති සම්බන්ධතා ඉලක්ක ක්‍රියාවට නැංවිය හැකි ක්‍රම සහ විධි සාකච්ඡා කළහ.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විදුලිය සහ ජෛව ඉන්ධන වැනි පොසිල ඉන්ධන සඳහා විකල්ප ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙම විකල්පයන් ශ්‍රී ලංකාව වැනි රටකට සුදුසු, ඉතා ලාභදායී සහ පරිසර හිතකාමී ලෙස සලකන ලදී. විකල්ප ඉන්ධන පිළිබඳ ඉන්දීය අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා අදාළ විශේෂඥතාව ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට කැමැත්ත පළ කළේය.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය ගඩ්කාරිට ආරාධනා කළ අතර එය අමාත්‍යවරයා පිළිගත්තේය.

රාමායණයට අනුව සීතාව සිරකරගෙන සිටි ස්ථානය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ සීතාඑළියේ පිහිටි (අශෝක වතිකා) සීතා අම්මාන් විහාරය අසලින් ගලා බසින ඔයෙන් ලබාගත් පාෂාණයක් ද මහ කොමසාරිස් මොරගොඩ මහතා විසින් අමාත්‍ය ගඩ්කාරි මහතා වෙත පිළිගැන්වීය.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත සම්භවයක් ඇති ශ්‍රී නිතින් ගඩ්කාරි මහතා, 2014 සිට වසර අටකට අධික කාලයක් ඉන්දියාවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග පිළිබඳ දීර්ඝතම ධූර කාලයක් දරන අමාත්‍යවරයා වේ. ඔහු 2009 සිට 2013 දක්වා භාරතීය ජනතා පක්ෂයේ (BJP) සභාපති ලෙස ද කටයුතු කළේය. මින් පෙර, ඔහු ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය; නාවික කටයුතු; ජල සම්පත්, ගංගා සංවර්ධනය සහ ගංගා පුනර්ජීවනය; සහ ග්‍රාම සංවර්ධන සහ පංචායති රාජ් යන අමාත්‍යංශයන් හි අමාත්‍ය ධූර දරා ඇත. ඔහු පොත් කිහිපයක් ද රචනා කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

24 අගෝස්තු 2023

Print Friendly, PDF & Email
Please follow and like us:

Close