වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව  විසින් තිලිණ  කරන ලද හස්තීන්ගේ 10 වැනි සංවත්සරය ප්‍රාග්  සත්වෝද්‍යානයේ දී සමරයි

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව  විසින් තිලිණ  කරන ලද හස්තීන්ගේ 10 වැනි සංවත්සරය ප්‍රාග්  සත්වෝද්‍යානයේ දී සමරයි

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව 2023 අගෝස්තු 12 වන දින ප්‍රාග්  සත්වෝද්‍යානයේ දී හස්තීන් දෙදෙනෙකු තිලිණ කිරීමේ 10 වන සංවත්සරය සහ ජාත්‍යන්තර හස්තීන්ගේ දිනය සමරන ලදී.

අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රජය විසින් 2012 ඔක්තෝබර් මාසයේදී ප්‍රාග්  සත්වෝද්‍යානය වෙත ‘තමරා’ සහ ‘ජනිටා’ නම් හස්තීන් දෙදෙනෙකු තිළිණ කරන ලදී. ‘බේබි’ යන නමින් හදුන්වනු ලැබූ සත්වෝද්‍යානයේ සිටි පළමු හස්තියා 1933 දී ශ්‍රී ලංකාව විසින් තිළිණ කරන ලද්දෙකි. දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970දී පමණ ප්‍රාග්  සත්වෝද්‍යානයට ‘සුන්දරී’ සහ ‘කදිරා’ යන හස්තීන් දෙදෙනකු තෑගි කළාය.

සත්වෝද්‍යානය ප්‍රවර්ධනය කිරීමට සහ  ප්‍රාග්  සත්වෝද්‍යානයට පැමිණෙන චෙක් ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සමඟ  සම්බන්ධ වීමට ද නිල සැමැරුම් උත්සවය  මගින් අවස්ථාවක් සැළසුනි. මෙම උත්සවයට චෙක් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු , රජයේ ආයතන, සංචාරක ආයතන සහ චෙක් ජනරජයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල නිලධාරීහු සහභාගී වුහ.

දූත මණ්ඩල​යේ කාර්යභාර නිලධාරී  චරිත වීරසිංහ මහතා ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරමින්,  1957 දී  චෙකොස්ලෝවැකියාව සමඟ සහ 1993 දී චෙක් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර සදාකාලික මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හස්තීන් යොදා ගත්  බව අවධාරණය කළේය. නිමක් නැති වෙරළ තීරයන්, සනාතනික නටබුන්, සුහදශීලී  මිනිසුන්, ඇදහිය නොහැකි ආගන්තුක සත්කාරය, වනජීවීන්, ලෝක ප්‍රකට තේ සහ ප්‍රණීත කෑම වර්ග  සඳහා අතිශය ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව වෙත  පැමිණ සංචාරය  කරන ලෙස  සහහාගීවූවන්ට ආරාධනා කරන ලදී.

චෙක් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු සහ පැසිෆික් අංශයේ කැතරිනා වොව්කෝවා සිය අදහස් දැක්වීම ඉදිරිපත් කරමින්, තානාපති කාර්යාලය විසින්  සමරු උත්සවය සංවිධානය කිරීම සඳහා ගත්  මුලපිරීම අගය කළ අතර නව දිල්ලියේ චෙක් දූත මණ්ඩලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කරමින් සිටියදී මෙම හස්තීන් දෙදෙනා චෙක් ජනරජයට ගෙන ඒම පිළිබඳ  පුද්ගලික අත්දැකීම් බෙදා ගත්තාය.

ප්‍රාග් සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහජන සම්බන්ධතා) මර්කෙටා හොයිදෙක්රෝවා මහතා හස්තීන් තෑගි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කළ අතර ප්‍රාග් සත්වෝද්‍යානය ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව සමඟ ඇති ඓතිහාසික සබඳතා සිහිපත් කළේය. ප්‍රාග්  සත්වෝද්‍යානයේ සේවය කරන හස්තීන් රැකබලා ගන්නවුන්  8 දෙනෙකු ඔවුන්ගේ වෘත්තීයභාවය සහ හස්තීන්‍ට ලබා දුන් රැකවරණය වෙනුවෙන් තානාපති කාර්යාලය විසින් උපහාරයට ලක් කරන ලදී.

සැමරුම් උත්සවයේදී, ශ්‍රී ලංකා ට්‍රැවල් යන හෑෂ් ටැග් සමඟ ඡායාරූප, ස්මාට් දුරකතන වෙත ක්ෂණිකව බාගත කර සමාජ මාධ්‍යවල බෙදා ගැනීමේ පහසුකම සහිත ඡායාරූප ලබා ගැනීමේ කුටියක් නොමිලයේ සංචාරකයින් වෙත ලබා දෙන ලදී.

"So Sri Lanka" යන වැකිය සහිත සංචාරක ප්‍රවර්ධන සන්නාමය ප්‍රාග් සත්වෝද්‍යානයේ ප්‍රදර්ශණය කරන ලද අතර කෝප්ප, ග්‍රීෂ්ම තොප්පි, යතුරු ඇමුණුම් සහ බෑග් වැනි දේ ලබා දීමද සිදු කෙරුණි.  සත්වෝද්‍යාන ප්‍රවර්ධන උත්සවයේ දී වර්ණවත් ලෙස නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන ලදී. සංචාරක ප්‍රවර්ධන අත් පත්‍රිකා සහ සිතියම් සංචාරකයින් අතර බෙදා දෙන ලදී.

ආරාධිතයින්ට සහ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි  මහජනතාවට සිලෝන් තේ සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය  කෑම වර්ග පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 අගෝස්තු 18

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close