විදේශ කටයුතු අමාත්‍යවරයා 30 වැනි ආසියාන් කලාපීය සංසදයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයා 30 වැනි ආසියාන් කලාපීය සංසදයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

 විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 ජූලි 14 වැනි දින ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති 30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ ය.

1994 වසරේ දී තායිලන්තයේ දී ආරම්භ කරන ලද ආසියානු කලාපීය සංසදය යනු ආසියා-පැසිෆික් කලාපය කේන්ද්‍ර කර ගත් ආරක්ෂක සංවාද යාන්ත්‍රණයකි. එය කලාපීය සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය කෙරෙහි එල්ල වන අභියෝග හඳුනා ගනිමින් විවෘත සහ අන්තර්ග්‍රහණීය සංවාදයක් පැවැත්වීමට කටයුතු කරන අතරතුර සාමූහික ප්‍රයත්න හරහා කලාපීය සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. ආසියානු කලාපීය සංසදයට සාමාජික රටවල් 27 ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව 2007 වසරේ සිට එහි සාමාජිකත්වය දරයි.

මෙම සංසදය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සමුද්‍රීය ආරක්‍ෂාව, ආපදා කළමනාකරණය, ආරක්‍ෂාව සම්බන්ධව විශ්වාසය ගොඩනැගීමේ පියවර, ගැටළු වැළැක්වීම සඳහා ඉවහල් වන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ කලාපය තුළ වර්ධනය වන ආර්ථික ගතිකත්වය සහ සෞභාග්‍යය පවත්වා ගැනීම ඇතුළුව සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට  වැදගත් වන ක්ෂේත්‍ර පිළිබඳව අවධාරණය කළේ ය. ආසියානු කලාපීය සංසදයේ සහයෝගීතා ක්ෂේත්‍රවල ස්ථාවර ප්‍රගතිය ඇගයූ එතුමා, එහි ක්‍රියාවලියට සිය පූර්ණ සහය ලබා දුන්නේ ය.

2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වූ ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්‍රය වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අදහස් කරන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. ඕස්ට්‍රේලියාව, බෲනායි, කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ ආරම්භක සාමාජිකයින් 15 දෙනා වේ. 2023 ජූලි 1 වැනි දින සිට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය නව සාමාජිකයන් සඳහා විවෘත කෙරුණු අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් වීමේ අරමුණින් 2023 ජූනි 28 වැනි දින ආසියාන් ලේකම් කාර්යාලය වෙත සිය අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිය ඉදිරිපත් කර ඇත.

අමාත්‍යවරයා ආසියානු කලාපීය සංසදයට සමගාමීව ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, මොංගෝලියාව, නවසීලන්තය, පිලිපීනය, රුසියාව, ටිමෝර් ලෙස්ටේ, වියට්නාමය සහ එක්සත් රාජධානිය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් සමඟ අන්‍යෝන්‍ය උනන්දුවක් සහිත ක්ෂේත්‍ර ආශ්‍රිත ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක් පැවැත්වී ය. එතුමා ජකර්තා හි රැඳී සිටි කාලය තුළ ඉන්දුනීසියාවේ මුදල් අමාත්‍යවරයා, ඉන්දුනීසියාවේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ ජාතික නියෝජිතායතනය (BNPT) සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සමඟ ද සාකච්ඡා පැවැත්වී ය.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරුණ විල්පාත මහතා ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් විය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 15 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close