අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඩකා නුවර පැවති 6 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ (IOC) ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඩකා නුවර පැවති 6 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ (IOC) ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, බංග්ලාදේශයේ ඩකා නුවර මැයි 12 සිට 13 දක්වා පැවති 6 වැනි ඉන්දීය සාගර සමුළුව සඳහා සහභාගි විය.

මෙම උත්සවයේ සමාරම්භක සැසිය මැයි 12 වැනි දින සන්ධ්‍යාවේ දී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය  ෂෙයික් හසීනා මැතිනිය විසින් ආරම්භ කරන ලද අතර, කලාපයේ රටවල් 25ක විදේශ නියෝජිතයින්, රජයේ ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයින් සහ සම්භාවනීය අමුත්තන් 150 දෙනෙකු පමණ ඊට සහභාගි විය. ඉන්දියානු සාගර කලාපය ශක්තිමත් කිරීම සඳහා මාර්ග සිතියම් සැලසුම් කිරීමට දායක වන ප්‍රධාන පාර්ශ්වකරුවන් එකම වේදිකාවට ගෙන ඒමේ අවස්ථාව ‘ස්ථාවර අනාගතයක් සඳහා සාමය, සෞභාග්‍යය සහ හවුල්කාරිත්වය’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව හරහා උදා විය.

මැයි 13 වැනි දින පැවති විශේෂ තේමාත්මක සැසිවාරය අතරතුර ශ්‍රී ලංකාවේ ප්‍රකාශය සිදු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ඉන්දියානු සාගර කලාපය තුළ ශ්‍රී ලංකාව සමුද්‍රීය හවුල්කාරිත්වය පවත්වන රටවල් සමඟ සාමය, ආරක්ෂාව සහ අන්තර්ග්‍රහණීය ආර්ථික සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පවත්නා සබඳතා පිළිබඳව අවධාරණය කළේ ය. සබඳතා වැඩිදියුණු කළ ඉන්දියන් සාගරය සතු වැදගත්කම, සමුද්‍රීය කලාපය තුළ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන කලාපීයවාදයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ එතුමා, එවැනි කලාපීය ප්‍රවේශ ඔස්සේ ආසියාන්, අයෝරා සහ බිම්ස්ටෙක් සංවිධාන අතර සමීප සබඳතා පැවැත්වීමට උත්සාහ කළ යුතු බවද ප්‍රකාශ කළේ ය.

නීල හරිත ආර්ථිකය සහ දේශගුණික විපර්යාස පිළිබඳ මුලපිරීම්  ඇතුළුව ඉන්දියානු සාගරයේ ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වෙරළබඩ රාජ්‍යයන් සමඟ පවත්නා හවුල්කාරිත්වය සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ වෙළඳාම වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද අමාත්‍ය ද සිල්වා මැතිතුමා සිය දේශනය අතරතුර සඳහන් කළේ ය.

කලාපයේ ආරක්ෂාව සහ වර්ධනය සඳහා කලාපීය සහයෝගීතාවයේ අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කලාපීය රාජ්‍යයන් සහ කලාපයේ ප්‍රධාන සමුද්‍රීය හවුල්කරුවන් පොදු වේදිකාවකට ගෙන ඒම කෙරෙහි ඉන්දීය සාගර සමුළුවේ අවධානය යොමු කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close