විදේශ කටයුතු අමාත්‍යවරයා ස්ටොක්හෝම් හි පැවැත්වෙන ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වේ

විදේශ කටයුතු අමාත්‍යවරයා ස්ටොක්හෝම් හි පැවැත්වෙන ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වේ

 2023 මැයි 13 වැනි දින පැවැත්වීමට නියමිත ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අද දින (මැයි 11  වැනි දින) ස්වීඩනයේ ස්ටොක්හෝම් බලා පිටත්ව ගියේ ය. යුරෝපා සංගම කවුන්සිලයේ ස්වීඩනයේ සභාපතිත්වය යටතේ සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ සහයෝගයෙන් මෙම සංසදය සංවිධානය කරන ලදී. යුරෝපා සංගමයේ සහ ඉන්දු- පැසිෆික් කලාපයේ විදේශ අමාත්‍යවරු මෙම සංසදය සඳහා සහභාගී වනු ඇත.

ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍ය ටොබියාස් බිල්ස්ට්‍රෝම් මැතිතුමා සහ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත සහ යුරෝපා කොමිසමේ උප සභාපති ජෝසප් බොරෙල් මැතිතුමා මෙම සංසදයේ සම සභාපතිත්වය දරති .

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා, මෙම සංසදයේ වට මේස සාකච්ඡා ත්‍රිත්වයෙන් එකක් වන ‘වඩාත් තිරසාර සහ අන්තර්ග්‍රහණීය සමෘද්ධිමත්භාවය එක්ව ගොඩනැංවීම’ යන තේමාව යටතේ පැවැත්වෙන 01 වැනි වට මේස සාකච්ඡාවේ සම සභාපතිත්වය හොබවනු ඇත.

අමාත්‍ය සබ්රි මැතිතුමා  ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, පින්ලන්තය, ලැට්වියාව, නෙදර්ලන්තය, රුමේනියාව සහ ස්වීඩනය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරු සහ මෙම සංසදයට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යවරු රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. අමාත්‍යවරයා විශේෂයෙන් ස්වීඩනයේ ව්‍යාපාරික ප්‍රජාව, විධායක නිලධාරීන් සහ ස්වීඩනයේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close