විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සූදානම් වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සූදානම් වේ

2023 මැයි 2-5 දක්වා පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ ඉන්චොන් හි සංචාරයක නිරත වීමට නියමිත ය. එතුමා එහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජනය කරනු ඇත.

මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන්, ප්‍රධාන ගෝලීය බැංකු, සමාගම් සහ මාධ්‍ය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 3,000-4,000 අතර පිරිසක් පමණ සහභාගී වන මෙම වාර්ෂික රැස්වීම  ඉහළ මට්ටමේ උත්සවයකි. එම කාල සීමාව තුළ සිදු කෙරෙන අනෙකුත් මැදිහත්වීම්වලට සමගාමීව 2023 මැයි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ ව්‍යාපාරික සැසිය අතරතුර ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

ආර්ථික පුනර්ජීවනයට අදාළව ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා මෙම උත්සවයට සමගාමීව තවත් රටවල් ගණනාවක මිත්‍ර පාර්ශ්ව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මෙම චාරිකාවේ නිරත වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අප්‍රේල් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close