හර්යානා හි ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලය සහ ශ්‍රී ලංකාව ස්වභාවික ගොවිතැන ආශ්‍රිත සහයෝගිතාව වර්ධනය කිරීමට සැරසෙයි

හර්යානා හි ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලය සහ ශ්‍රී ලංකාව ස්වභාවික ගොවිතැන ආශ්‍රිත සහයෝගිතාව වර්ධනය කිරීමට සැරසෙයි

ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන ශ්‍රී ආචාර්ය දෙව්ව්‍රත් මැතිතුමාගේ ඇරයුමකට අනුව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 අප්‍රේල් 02 වැනි දින හර්යානා හි ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලයේ චාරිකාවක නිරත විය.

ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලය යනු තරුණයින් තුළ ඉන්දියානු වෛදික හර පද්ධතිය පෝෂණය කරන්නා වූ විශේෂිත විද්‍යාලයකි. ඉන්දියාවේ හොඳම විශ්වවිද්‍යාල සහ හමුදා ඇකඩමිවල අධ්‍යාපනය හැදෑරීම සඳහා වරම් හිමි කරගැනීමේ දී සුවිශේෂී ස්ථානයක් හිමි වන මෙම විද්‍යාලය, සිය අධ්‍යයන විශිෂ්ටත්වය සම්බන්ධයෙන් අද්විතීය වාර්තාවක් තබා ඇත.

ශුන්‍ය පාදක අයවැයකරණයක් යටතේ වසර ගණනාවක් මුළුල්ලේ ස්වභාවික ගොවිතැන් ක්‍රමය භාවිතයට ගනිමින්, තිරිඟු, වී, උක්, අර්තාපල් සහ අනෙකුත් බෝග වගා කරන අක්කර 180 ක වපසරියකින් යුත් ගොවිපොළක් ද ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලය සතු ය. ගුරුකුල් විද්‍යාලයේ සිටින නේවාසික සිසුන්ගේ ආහාර වේල මෙම ගොවිපොළෙන් ලබා ගන්නා නිෂ්පාදනවලින් සකස් කෙරේ.  2014 වසරේ දී ස්වභාවික ගොවිතැන ආරම්භ කළ මෙම විද්‍යාලය තුළ ස්වභාවික ගොවිතැන පිළිබඳ ඉගැන්වීම් ද සිදු කෙරේ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා කුරුක්ෂේත්‍ර විද්‍යාලය තුළ සිදු කළ සංචාරය අතරතුර එහි ගොවිපොළේ ද චාරිකාවක නිරත විය. කුරුක්ෂේත්‍ර නුවර, මහා භාරත නමැති මහා කාව්‍ය බිහි වූ ස්ථානය මෙන්ම, එම කාව්‍යයේ විස්තර කර ඇති කුරුක්ෂේත්‍ර යුද්ධය සිදු වූ ස්ථානය ලෙසද විශ්වාස කෙරේ.

මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලයේ අධ්‍යක්ෂ කර්නල් අරුන්  දුත්තා, ස්වභාවික ගොවිතැන පිළිබඳ රාජ්‍ය උපදේශක ආචාර්ය හරි ඕම්, ගුරුකුල් කුරුක්ෂේත්‍ර විද්‍යාලයේ පරිපාලක රාම් නිවාස් යන මහත්වරු ඇතුළුව එම විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් හමුවිය. ගුරුකුල් විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා පවත්නා ක්‍රම සහ විධි මෙන්ම, විශේෂයෙන්ම ස්වභාවික ගොවිතැන පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පවත්වන ලදී. ස්වභාවික ගොවිතැන යටතේ වැඩිම අස්වැන්නක් ලබා ගත හැකි බෝගය වන්නේ වී බවද මෙම සාකච්ඡාවලදී අනාවරණය විය.

මෙම ගොවිපොළට අවශ්‍ය පොහොර ලෙස භාවිතා කරන්නේ හරකුන්ගේ ගොම සහ මුත්‍රා ය. හරකුන්ගේ ගොම සහ මුත්‍රාවල ඇති ක්ෂුද්‍ර ජීවීන් ගොවි බිමේ පසෙහි සාරවත් බව වැඩි දියුණු කරන බවත් අක්කර 30ක භූමියක් තුළ වගා කිරීම සඳහා එක් දේශීය ගවයකු ප්‍රමාණවත් වන බවත් එහිදී අනාවරණය විය. සම්ප්‍රදායික ගොවිපොළක් හරහා නිපදවනු ලබන අස්වනු ප්‍රමාණයම ගුරුකුල් විද්‍යාලය භාවිතා කරන ශුන්‍ය පාදක අයවැයකරණ කෘෂිකාර්මික ක්‍රමය මඟින් අවම මුදලකට නිපදවිය හැකි බව පිළිගැනේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 අප්‍රේල් 04 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close