තානාපති අපොන්සු මැතිතුමා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) ඉරාන දූත මණ්ඩල ප්‍රධානියා හමුවෙයි

තානාපති අපොන්සු මැතිතුමා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) ඉරාන දූත මණ්ඩල ප්‍රධානියා හමුවෙයි

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මැතිතුමා 2023 මාර්තු 30 වැනි දින ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී ලාලිනී වීරස්සාමි මහත්මිය හමුවිය. ඔවුහු එහිදී ජාත්‍යන්තර සංක්‍රමණය, රාජ්‍යයන් හි සමාජ-ආර්ථික සංවර්ධනය කෙරෙහි එමඟින් එල්ල වන බලපෑම, දකුණු ආසියාතික රටවලින් ඉරානයට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ ප්‍රවණතාව ඉහළ යාම, නීතිවිරෝධී සංක්‍රමණ පාලනය කිරීම සඳහා වන ඒකාබද්ධ යාන්ත්‍රණය, ඉරානයේ සිටින ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයන් සියරට පැමිණවීම පිළිබඳ ගැටළු සහ මිනිස් ජාවාරම යනාදිය පිළිබඳ අදහස් හුවමාරු කරගත් හ.

මෙහිදී සිය අදහස් පළ කළ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික සංවිධානයේ ටෙහෙරාන කාර්යාලයේ ප්‍රධානී ලාලිනී වීරස්සාමි මහත්මිය, ලෝකයේ විවිධ කලාපවල පවතින අස්ථාවරත්වය සහ රටවල් ගණනාවකට බලපාන ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂයෙන් බටහිර ආසියානු කලාපය තුළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සහ සරණාගතයින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් කළා ය. තවද එතුමිය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ටෙහෙරාන කාර්යාලයේ දැනට සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු පිළිබඳව ද විස්තර කළා ය. ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී,  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉරානයේ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන්, සංක්‍රමණ ගැටළු විසඳීමටත් සමුද්‍රීය  අංශයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහය වීමටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වී ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රවණතා සම්බන්ධයෙන් දූත මණ්ඩල ප්‍රධානීතුමිය දැනුම්වත් කළ තානාපතිවරයා, අසර්බයිජානයේ සහ ඉරානයේ විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් සියරට පැමිණවීම වේගවත් කිරීම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට පුහුණු වැඩසටහන් පැවැත්වීම, ඉරානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ තොරතුරු බෙදාගැනීම සහ ඉරානයේ විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය අනෙකුත් සහය සහ නවාතැන් පහසුකම් ලබා දීම යනාදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ටෙහෙරාන කාර්යාලයේ සහය ඉල්ලා සිටියේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ටෙහෙරාන දූත මණ්ඩල ප්‍රධානීතුමිය, ඉරානයේ විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ සහය ලබා දීමටත්, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට පුහුණුවක් ලබා දීමටත්  තමන් උද්‍යෝගයෙන් පසුවන බව සඳහන් කළා ය.

රැස්වීම අවසන් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණික කටයුතු සංවිධානයේ ඉරානයේ දූත මණ්ඩල ප්‍රධානීතුමිය, මෙම කාලෝචිත සාකච්ඡාව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කළා ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2023 අප්‍රේල් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close