ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2023 අප්‍රේල් 01 වැනි දින ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කළේ ය.  ඉස්ලාම් ධර්මය පිළිබඳ දේශන, දුආ යැදුම් උච්ඡාරණය කිරීම, උපවාසය ඇත්හැරීම සහ සන්ධ්‍යා යැදුම් (මග්රිබ් යැදුම්) උච්ඡාරණය කිරීම ආදිය මෙම වැඩසටහනට ඇතුළත් විය. විවිධ  පසුබිම් නියෝජනය කරමින් මීට සහභාගි වූවන්ගේ පහසුව සැලසෙන පරිදි, මෙම වැඩසටහන සිංහල, ඉන්දුනීසියානු සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පවත්වන ලදී.

පිළිගැනීමේ දේශනය සිදු කළ තානාපති මහචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා, "ධර්මයෙන් ඔබ්බට මනුෂ්‍යත්වය" යන තේමාව පිළිබඳව සිය අදහස් පළ කළ අතර, ශුද්ධ වූ රාමසාන් මාසය තුළ උපවාසයේ නිරතවීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේ ය. උපවාසයේ නිරත වන මෙම කාලය තුළ, අන් අය කෙරෙහි සහකම්පනය විදහා දැක්වීමටත් ස්වයං විනය වර්ධනය කරගැනීමටත් අවස්ථාව සැලසෙන බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දේශ බන්දු, දේශ කීර්ති, මානව හිතවාදි, අස්- ෂෙයික් එච්.එම්. රිස්වාන් (අල්-මහ්කාමි) ඉස්ලාම් ධර්මයේ මූලික කරුණු පිළිබඳ දේශනයක් සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට පැවැත්වී ය. බුද්ධ දර්ශනය, කතෝලික ධර්මය සහ හින්දු ධර්මය තුළද මෙවැනිම චාරිත්‍ර පවතින බව සඳහන් කළ එතුමා, රාමසාන් මාසය තුළ උපවාස කිරීම ඉස්ලාම් ධර්මයේ මූලිකාංග  පහෙන් එකක් ලෙස හැඳින්වෙන බවත්, ලෞකික සැප සම්පත්වලින් වැළකී සිටිමින් ආදර්ශවත් පිළිවෙතක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය මේ හරහා ප්‍රකාශ වන බවත් සඳහන් කළේ ය.

උපවාසය අත්හැරීම සඳහා පැමිණ සිටි පිරිස වෙත ප්‍රණීත ආහාර පිළිගන්වන ලදී. ඉන් පසුව සම්ප්‍රදායික  ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිළිගන්වන ලදී. තානාපති කාර්යාලය විසින් මෙතෙක් පවත්වන ලද ඉෆ්තාර් උත්සව සඳහා පැමිණි විශාලතම පිරිස සහභාගි වූයේ මෙවර පැවති උත්සවයට ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2023 අප්‍රේල් 03 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close