ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය උත්සව මාලාවක් හරහා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස දින සංවත්සරය සමරයි

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය උත්සව මාලාවක් හරහා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස දින සංවත්සරය සමරයි

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සැමරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීමේ සංවත්සරය ද මෙම වසරේ දී සනිටුහන් කෙරේ.

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, ශ්‍රී ලංකාව සමඟ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ සබඳතා පවත්වන බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ඩේවිඩ් රෝස් මහතා සමඟ එක්ව, 2023 පෙබරවාරි 02 වැනි දින, ලන්ඩනයේ ඩොර්චෙස්ටර් හෝටලයේ දී භෝජන සංග්‍රහයක් පැවැත්වී ය. එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මැතිතුමා ගරු ආරාධිත අමුත්තා වශයෙන් ඊට සහභාගි විය.  ඇබර්සොක් හි ඩේවිස් සාමිවරයා (CBE), එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිත මාර්ලන්ඩ් සාමිවරයා, පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපතිවරයා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නයිජල් ඇඩම්ස් මැතිතුමා මෙම අවස්ථාවට සහභාගි වූ අනෙකුත් පිරිසට ඇතුළත් විය. ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා- එක්සත් රාජධානි වාණිජ්‍ය මණ්ඩලය සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය කර්මාන්තවල ප්‍රධානීහු පිරිසක් ද මෙම අමුත්තන් පිරිසට ඇතුළත් වූහ. රැස්ව සිටි පිරිස ඇමතූ හිටපු අග්‍රාමාත්‍ය කැමරන් මැතිතුමා, ජාත්‍යන්තර  මිතුරන්ගේ සහයෝගය ද ඇතිව, දුෂ්කරතා හමුවේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව විදහා දක්වන ශක්‍යතාව සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සඳහන් කළේ ය. සිය අදහස් පළ කළ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා යෝග්‍ය රටක් ලෙස සලකමින්  එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස පැමිණ සිටි අමුත්තන්ගෙන් ඉල්ලා සිටියා ය.

1066 වසරේ පටන් බ්‍රිතාන්‍ය කිරුළ හිමි රාජකීයන් 39 දෙනෙකුගේ රාජාභිෂේක මංගලෝත්සව පවත්වන ලද දේවස්ථානය වන වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී, එනම් 2023 පෙබරවාරි 03 වැනි දින, ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් සම්ප්‍රදායික සන්ධ්‍යා දේව මෙහෙයක් පවත්වන ලදී. මෙම දේව මෙහෙය අතරතුර, ශ්‍රී ලංකාවට, එහි නායකයන්ට සහ ජනතාවට සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය පතා ආශිර්වාද දානය  කරන ලදී. දියෝකිසියේ දේවගැති ගරු ඇන්තනි බෝල් පූජාප්‍රසාදිවරයා පළමු දේව ප්‍රකාශනය කියවූ අතර, මතෙව් ශුභාරංචියේ විසිඅටවැනි පරිච්ඡේදයේ දහසයවන වගන්තිය වන දෙවැනි දේව ප්‍රකාශනය මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය විසින් කියවන ලදී. මෙලෙස පවත්වන සන්ධ්‍යා දේව මෙහෙයට ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ධජය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථාන පරිශ්‍රයේ ඔසවා තබන ලදී.  මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයෝ ද මෙම දේව මෙහෙයට සහභාගි වූහ.

සීමාසහිත බෝර්ඩ්පැක් සමාගම, ද ලා රූ, ලයන් බියර්, එලිෆන්ට් හවුස් බීම වර්ග, මන්චී බිස්කට්, බැසිලූර් ටී, බරකා, සිල්වර් මිල්, විචී ප්ලාන්ටේෂන්, සීමාසහිත ජෙන්වස් සමාගම, තල් සංවර්ධන අධිකාරිය, ට්‍රැකියුලර්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිරිනැමූ ත්‍යාගශීලී අනුග්‍රාහකත්වය යටතේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2023 පෙබරවාරි 04 සහ 08 යන දිනවල, මෙරට 75 වැනි නිදහස් දින සංවත්සරය සැමරීම සඳහා සිය චාන්සරි  පරිශ්‍රය තුළ වැඩසටහන් දෙකක් සංවිධානයකළේ ය.

එක්සත් රාජධානියේ මුස්ලිම් සංවිධාන කවුන්සිලයේ (COSMOS) සාමාජිකයන්ගේ දරුවන් විසින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව පෙබරවාරි 04 වැනි දින පැවති වැඩසටහනේ කටයුතු ආරම්භ විය. එක්සත් රාජධානියේ වෙසෙන ආගමික නායකයින් විසින් අදාළ  ආගමික වතාවත් සිදු කරන ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නිකුත් කළ නිදහස් දින පණිවිඩ දූත මණ්ඩලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විසින් මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී.  එක්සත් රාජධානියේ මුතුහර රූපවාහිනියේ දරු දැරියෝ සිංහල ගීත දෙකක් ගායනා කරමින් මෙම උත්සවය වර්ණවත් කළහ. එක්සත් රාජධානියේ කලාසාගර ආයතනයේ සිසුන් විසින් භරතනාට්‍ය නර්ථනාංග දෙකක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංස්ථිතිය සෑම අංශයකින්ම විදහා දක්වන බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.  උත්සව සභාව ඇමතූ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වෙමින්, ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන මිලදී ගනිමින් සහ එක්සත් රාජධානිය තුළ සාර්ථකව කටයුතු කිරීම සඳහා පදනම සැපයූ රට වන ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන අයුරින් මාතෘ භූමියේ සංවර්ධනයට දායක වන ලෙස එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනා කළා ය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් පවත්වන ලද දිනුම් ඇදීමේ තරගය මෙම වැඩසටහනේ  විශේෂ අවස්ථාවක් විය. එහි ජයග්‍රාහකයා කොළඹට පැමිණීම සහ පිටව යාම සඳහා වන ටිකට් පත් දෙකක් හිමි කරගත්තේ ය. මෙම නිල උත්සවයෙන් පසුව ශ්‍රී ලාංකික ආහාර පානවලින් අමුත්තන්ට සංග්‍රහ කරන ලදී. එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලාංකික සංගම්වල නියෝජිතයන් ඇතුළු බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවේ සමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින උත්සවයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2023 පෙබරවාරි 8 වැනි දින සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ පාර්ලිමේන්තු කථානායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමා ය.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ මාර්ෂල්වරයා, දූත මණ්ඩල ප්‍රධානීන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්, මිතුරන් සහ සුබ පතන්නන් මෙම විශේෂ අවස්ථාව සැමරීම සඳහා සහභාගි වූ ආරාධිත පිරිසට ඇතුළත් වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ අමුත්තන්ට ශ්‍රී ලංකාවේ ආහාර පාන, ලංකා 'යාරා' තේ සහ තල් නිෂ්පාදන පිළිගන්වන ලදී. ‘හැමිල්ටන්’, ‘ජුලියට්’ ‘අ‍මෙලී’ සහ ‘ලයිෆ් ඔෆ් පයි’ යන වෙස්ට් එන්ඩ් නාට්‍ය නිෂ්පාදනවල නළු නිළියන් වන, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රොෂානි ඇබී සහ නුවන් හියු පෙරේරා යන කලාකරුවන් විසින් අමුත්තන් වෙත විනෝදාස්වාදය සපයන ලදී. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් පවත්වන ලද දිනුම් ඇදීමේ තරගය මෙම සන්ධ්‍යාවේ විශේෂ අවස්ථාවක් විය. එහි ජයග්‍රාහකයා වූ ජේ.ඩී වේවර්ලි සාමිවරයා කොළඹට පැමිණීම සහ පිටව යාම සඳහා වන ටිකට් පත් දෙකක් හිමි කරගත්තේ ය.

මෙම වැඩසටහන් හරහා සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, ආහාර පාන මෙන්ම සංචාරක ව්‍යාපාරය ද ප්‍රවර්ධනය කරන ලදී.

මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවවලට අමතරව, ශ්‍රී ලංකා මිතුරෝ සංගමය  ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය සමඟ එක්ව සංවිධානය කළ ලංකා කුරුඳු ප්‍රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ කලාගාරයේ පැවැත්විණි. සරෝජා සිරිසේන මැතිනිය එහි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.  බ්‍රිතාන්‍ය ජාතිකයන්, බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාව සහ තේ වෙළඳාම, සංචාරක ගමන් සහ සංචාරක ක්ෂේත්‍රය තුළ නියුතු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ. තවද, බෙඩ්ෆෝර්ඩ් හි ශ්‍රී ලංකා සංගමය පෙබරවාරි 04 වැනි දින බෙඩ්ෆෝර්ඩ් හි නගරාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් නිදහස් දින සැමරුම් උත්සවයක් සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2023 පෙබරවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close