තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය විජාවත් ඉසාරබාක්ඩි මැතිතුමා  2023 පෙබරවාරි 04 වැනි දින බැංකොක් නුවර සියම් සංගමයේ දී ශ්‍රී ලංකාවේ 75 වැනි  ඓතිහාසික නිදහස් සැමරුම රාජකීය අනුග්‍රහය යටතේ සමාරම්භ කරයි

තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය විජාවත් ඉසාරබාක්ඩි මැතිතුමා  2023 පෙබරවාරි 04 වැනි දින බැංකොක් නුවර සියම් සංගමයේ දී ශ්‍රී ලංකාවේ 75 වැනි  ඓතිහාසික නිදහස් සැමරුම රාජකීය අනුග්‍රහය යටතේ සමාරම්භ කරයි

තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය විජාවත් ඉසාරබාක්ඩි මැතිතුමා, රාජකීය අනුග්‍රහය යටතේ 2023 පෙබරවාරි 04 වැනි දින බැංකොක් නුවර සියම් සංගමයේ පැවති ශ්‍රී ලංකාවේ 75 වැනි ඓතිහාසික නිදහස් දින සංවත්සරයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මෙම උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ  යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත චාමින්දා කොළොන්නේ මැතිනිය සහ එතුමියගේ ස්වාමි පුරුෂයා වන ස්ටෙෆාන් සේනානායක මහතාගේ ඇරයුමකට අනුව තානාපතිවරු, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, ජාතික සභාවේ සාමාජිකයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ අනෙකුත් අමාත්‍යංශ සහ ආයතන, ව්‍යාපාරික ආයතන, විශ්වවිද්‍යාල සහ තායිලන්තයේ අනෙකුත් ආයතන සහ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගි වූහ.

අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල සහ දමිළ බසින් ගායනා කරන ලදී. ඉන් අනතුරුව, රට වෙනුවෙන් කැපවීම් කළ සියලු දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි. නියෝජ්‍ය  අමාත්‍ය විජාවත් මැතිතුමා සහ තානාපති කොළොන්නේ මැතිනිය සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා මෙම උත්සවය ආරම්භ කළහ.

උත්සව සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය විජාවත් මැතිතුමා, “ථෙරවාදී බුදුදහම පිළිබඳ පොදු විශ්වාසයන් මත පදනම් වූ දිගු කාලීන සුහද සබඳතා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින බව” සඳහන් කළේ ය. තවද එතුමා, “එවැනි ශක්තිමත් පදනම් සහ හවුල් විශ්වාසයන් සමඟ, අපගේ මිත්‍රත්වය සහ සහයෝගිතාව විවිධ ක්ෂේත්‍රවල, විශේෂයෙන් වෙළඳ සහ පුද්ගලාන්තර සබඳතා ගත් කල පුළුල් සහ ශක්තිමත් වී ඇත. වසර ගණනාවක් පුරා, තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමේ පොදු ඉලක්කයක් ඇතිව, විශේෂයෙන්ම මානව සම්පත් සංවර්ධනය, ප්‍රජා පාදක සංවර්ධනය සහ තිරසාර සංචාරක ව්‍යාපාරය පිළිබඳ අත්දැකීම් සහ දැනුම අපි අඛණ්ඩව බෙදා හදා ගත්තෙමු. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹා වසර 70ක් සපිරීමේ සංවත්සරයට අප ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටින බැවින් සහ එය 2025 වසරට යෙදෙන බවින්,  අපට එක්ව සිදු කිරීමට තවත් බොහෝ දේ ඇති බවත්, දෙපාර්ශ්වය සඳහා විශාල අවස්ථාවන් පවතින බවත් මම තරයේ විශ්වාස කරමි. ශ්‍රී ලංකාව  පසුගිය වසරේ දී පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දුන් අතර එය ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවනෝපාය කෙරෙහි විශාල ලෙස බලපෑවේ ය. කෙසේවුවද, ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ දැඩි අධිෂ්ඨානයත් සමඟ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ සහයත් සමඟ ඔබේ රට අන් කවරදාටත් වඩා ශක්තිමත් වනු ඇතැයි මම විශ්වාස කරමි. ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු ලෙස, තායිලන්තය ද ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා තායිලන්ත රාජ්‍ය සහ පෞද්ගලික අංශ යනාදිය එක්වෙමින් මෙම තත්ත්වය සමනය කිරීම සඳහා සහාය ලබා දීමට අධිෂ්ඨාන කරගත්තේ ය. මෙය සැබවින්ම අප දෙරට අතර පවතින ශක්තිමත් බැඳීම් සහ අපගේ ජනතාව අතර පවතින ශක්තිමත් බැඳීම පෙන්නුම් කරයි. ආර්ථික ක්‍ෂේත්‍රය ගත් කල, තායිලන්තය සහ ශ්‍රී ලංකාව අපගේ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කර ඇති බව දැකීමෙන් මම අතිශයින් සතුටට පත්වුණෙමි. නිදහස් වෙළඳ ගිවිසුමක් මගින් අපගේ වෙළඳාම සහ ආයෝජන නව තලයකට ගෙන යාමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි. එමෙන්ම, එය දෙරටට ප්‍රතිලාභ ගෙන දෙන අතර වෙළඳ හවුල්කරුවන් සහ මිතුරන් ලෙස අපව වඩාත් සමීප කරනු ඇත.” යනුවෙන් සඳහන් කළේ ය.

 “නමෝ නමෝ මාතා - සියවසට පියවරක්” යන තේමාව යටතේ ඉදිරි වසර 25 සඳහා වූ නව ප්‍රතිසංස්කරණ සමඟින් අභිමානයෙන් යුතුව ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය 2023 පෙබරවාරි 04 වැනි දින සමරන බවත්, ශ්‍රී ලංකා රජය 2048 වසරේ දී සමරනු ලබන සියවස් පූර්ණ නිදහස් සැමරුම තෙක් ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි වසර 25 සඳහා නව ප්‍රතිසංස්කරණ සහිත සැලැස්මක් මෙහිදී ප්‍රකාශට පත් කරන බවත්, තානාපති කොළොන්නේ මැතිනිය සිය පිළිගැනීමේ ප්‍රකාශය අතරතුර සඳහන් කළා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අභියෝගාත්මක තත්ත්වයක පවතින බව පෙන්වා දුන් තානාපතිනිය, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිරිනැමූ ත්‍යාගශීලී පරිත්‍යාග කිහිපයක් වෙනුවෙන් මහා වජිරලොන්කෝන් ෆ්‍රා වජිරක්ලාඕචාඕයුහුවා රජු, අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා, තායිලන්ත රාජධානියේ රජය, එහි මිත්‍රශීලී ජනතාව සහ විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සිය අවංක ප්‍රසාදය පළ කළා ය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය සතුව බෞද්ධ උරුමයෙන් මත ගොඩනැගී ඇති වසර 800කට අධික ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීමක් පවතින බවත්, රටවල් ද්විත්ත්වය සම්ප්‍රේෂකයා සහ ග්‍රාහකයා වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවන්හි දී දෙරටම ජාතීන් දෙකක් වශයෙන් එකිනෙකාට සිය සහයෝගය ලබා දී ඇති බවත් තානාපතිනිය තවදුරටත් සඳහන් කළා ය.

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් බවට පත් කිරීමට කැපවන ලෙස තානාපතිනිය සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළා ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නිකුත් කළ නිදහස් දින පණිවිඩ තානාපතිනිය විසින් මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී.

වසර පුරා තායිලන්තයේ පැවැත්වීමට නියමිත සමරු උත්සවවලදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සර ලාංඡනය තානාපති කොළොන්නේ  මැතිනිය විසින් නියෝජ්‍ය අමාත්‍ය විජාවත් මැතිතුමාට පිළිගන්වන ලදී. තවද ඔවුහු බැංකොක් හි සිටින තානාපතිවරු සමඟ එක්ව 75 සංවත්සර කේක් ගෙඩිය කැපූහ. “නමෝ නමෝ මාතා - සියවසකට පියවරක්” යන 75 වැනි සංවත්සර තේමාව රැගත් වීඩියෝ පටයක් ද නිකුත් කෙරිණි.

තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය සහ එතුමියගේ ස්වාමි පුරුෂයා වන ස්ටෙෆාන් සේනානායක මහතා විසින් සත්කාරකත්වය සපයන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකින් අනතුරුව මෙම උත්සවය අවසන් කෙරිණි.

2023 පෙබරවාරි 04 වැනි දින උදෑසන තානාපති චාමින්දා කොළොන්නේ මැතිනිය විසින් ජාතික ධජය ඔසවන ලදී. බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු පූජකවරුන් විසින් තානාපති නිල නිවසේ දී ආගමික වතාවත් සිදු කරන ලදී.

වීඩියෝව සඳහා සබැඳිය:

https://wetransfer.com/downloads/eec3108b078d31aa7bc3af8ab96900cc20230208151229/b2a28fcb898058278560a817f1f816e120230208151249/0868ff

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2023 පෙබරවාරි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close