ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) බ්‍රසීලයේ ගොයියාස් ප්‍රාන්තයේ වාණිජ, කර්මාන්ත සහ සේවා සංගමය (ACIEG) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) බ්‍රසීලයේ ගොයියාස් ප්‍රාන්තයේ වාණිජ, කර්මාන්ත සහ සේවා සංගමය (ACIEG) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය  සහ බ්‍රසීලයේ ගොයියාස් ප්‍රාන්තයේ වාණිජ, කර්මාන්ත සහ සේවා සංගමය බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පහසුකම් යටතේ 2023 පෙබරවාරි 01 වැනි දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන් සහ ගොයියාස් ප්‍රාන්තයේ වාණිජ, කර්මාන්ත සහ සේවා සංගමයේ සභාපති රූබන්ස් ෆිලෙටි යන මහත්වරු අථත්‍ය අයුරින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ හ. වාණිජ්‍ය කටයුතු, වෙළඳාම සහ ආයෝජන යනාදිය හරහා දෙරටේ වෙළඳ මණ්ඩල දෙක අතර පවත්නා ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීමට මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ වේදිකාවක් සපයනු ලැබේ.

2023 වර්ෂයේ දී සිදුකිරීම සඳහා හඳුනාගෙන ඇති ක්‍රියාකාරකම් පිළිබඳව ද දෙපාර්ශ්වය මෙම හමුව අතරතුර සාකච්ඡා කළහ. මාර්ගගත ව්‍යාපාර ගැලපුම්, වෙළඳපොළ දැනුවත් කිරීමේ සැසි සංවිධානය කිරීම සහ වෙළඳ නියෝජිතයන් හුවමාරු කිරීම යනාදී ක්‍රියාකාරකම් ඊට ඇතුළත් වේ.

සිය ප්‍රධාන දේශනය හරහා අදහස් පළ කළ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා, දෙරට අතර පවතින වෙළඳ සබඳතා පුළුල් කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම සහ දෙරටේ පවතින අවස්ථා පිළිබඳව දැනුම්වත් කිරීම හරහා ද්විපාර්ශ්වික වෙළඳාම, වාණිජ්‍යය සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා ඉවහල්  වන  පුද්ගලික අංශයේ මැදිහත්වීම් සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් දිගු කලක් මුළුල්ලේ පැවති අවශ්‍යතාව මෙම අවබෝධතා ගිවිසුම හරහා සපුරාලීමට හැකිවන බව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ගොයියාස් ප්‍රාන්තය තුළ ශ්‍රී ලංකාව සඳහා පවතින ව්‍යාපාර සඳහා අවස්ථා ගවේෂණය කිරීම සඳහා 2022 සැප්තැම්බර් මස තානාපති සුමිත් දසනායක මැතිතුමා ගොයියාස් ප්‍රාන්තයේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

බ්‍රසීල රියාල් $ බිලියන 208.672 කට අධික දළ දේශීය නිෂ්පාදිතයක් සහිත ගොයියාස් ප්‍රාන්තය බ්‍රසීලයේ වේගයෙන් වර්ධනය වන ප්‍රාන්තයක්  වන අතර එය වාණිජ්‍ය කටයුතු, කෘෂිකර්මය, පශු සම්පත්, පතල් කැණීම් සහ ආහාර නිෂ්පාදනය යනාදිය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දරයි. එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය බ්‍රසීල රියාල් $29,732 ට අධික වන අතර එහි ජනගහනය මිලියන 7.2 ක් වේ. ගොයියාස් ප්‍රාන්තය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා සඳහා වඩාත් යෝග්‍ය වෙළඳපොළක් වේ.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

2023 පෙබරවාරි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close